Friday, December 7, 2012

දැක්ක ගමන් හිත බැඳෙන එකේ රහස මොකක්ද?

DJ Avantha Creations

r6-1. ඔබට කවදා හරි කාවහරි දැකපු ගමන්ම ආදරයක් ඇතිවෙලා තියනවද? සමහර විට එහෙම වෙනව. දැකපු ගමන්ම කෙනෙකුට ආදරයක් ඇතිවෙන අවස්ථා තියෙනවා. ඔබ පෙම්වතෙක්/පෙම්වතියක් නම්, විවාහක දෙදෙනෙක් නම් සමහර විට ඔබේ ආදර දිවිය පටන් ගත්තෙ “දැක්ක ගමන් ඇතිවෙච්ච ආදරයක්” නිසා වෙන්නත් පුළුවන්. ඔබ එහෙම “දැකපු ගමන්” හිත බැඳුණු කෙනෙක් නම් අද ඒ ගැන මොනවාද හිතන්නෙ? ඔබේ ආදර දිවිය යුග දිවිය සාර්ථකද? පී්‍රතිමත්? එහෙම නැත්නං ලොකු වැරදීමක් වුණේ... වැරදි තීරණයක් ගත්තෙ කියල හිතෙනවද?
මොකක්ද ඔබට හිතෙන්නෙ? දැක්ක ගමන් හිත බැඳෙන ආදරේ මායාවක්ද නැත්නම් සාර්ථක යුග දිවියක ආරම්භයක්ද?

අපි ටිකක් හිතල බලමු ඇයි අපි කෙනෙකුට දැක්ක ගමන් හිත යන්නෙ කියලා.
සමහර විට අපි සති මාස අවුරුදු ගණන් එකට ඉන්න කෙනෙකුටවත් ආදරයක් හිතෙන්නෙ නෑ. ඒත් සමහර විට ජීවිතේට නොදැකපු කෙනෙක්ට ටවුමේදී සාප්පුවකදී, පාරේදී, බස් එකේදී මඟුල් ගෙදරකදී, පන්ස‍ලේදී පල්ලියේදී වුණත් දැක්කොත් ඒ පුද්ගලයට පුදුම ආශාවක් ආදරයක් වගේ හැඟීමක් ඇතිවෙන්නත් පුළුවන්.
අනේ මට මෙයාගෙ පෙම්වතිය/පෙම්වතා වෙන්න ඇත්නම් කියල හිතෙන්න පුළුවන්.
ඇයි මෙහෙම වෙන්නෙ? එහෙම වෙන එක පී්‍රතිමත් ආදර දිවියක පෙර නිමිත්තක්ද නැත්නම් රැවටීමක්ද කියන කරුණු ගැන ටිකක් කතා කළොත් ප්‍රයෝජනවත් වෙයි නේද?
ඇයි අපි දැක්ක ගමන් කෙනෙකුට ආදරේ වෙන්නෙ?   පිළිතුර ‍ලේසියි. එහෙම වෙන්නෙ අපේ මනස ක්‍රියාකරන විදිහටයි. හැබැයි ඒ මනස ක්‍රියාකාරී වෙන විදිහ නම් විශ්‍ලේෂණය කිරීමත් තේරුම් ගැනීමත් ටිකක් අමාරුයි. එක්එක්කෙනාගේ මනස ක්‍රියාකාරී වෙන්නෙ වෙනස් ආකාරයටනෙ.
අපි හැම කෙනෙක්ගෙම යටි හිතේ අපිම දන්නෙ නැති, උඩු හිතට දැනෙන්නෙ තේරෙන්නෙ නැති මානසික වැඩසටහන්, ක්‍රියාවලියන් නිහඬව ක්‍රියාත්මක වෙනව.
කවදාහරි කාටහරි ආදරේ කරනව නම් ඒ පුද්ගලයාට මොනවාද තිබිය යුතු ගුණාංග එයා කොහොම කෙනෙක් වෙන්න ඕනද කියන චිත්ත රූප සටහන් හැම කෙනෙක්ගෙම මනසෙ පැහැදිලිව ඇඳිලා  සටහන් වෙලා තියෙනවා.
සමස්තයක් වශයෙන් එවැනි පුද්ගලයෙක් ගැන යම් චිත්‍රයක් උඩු සිතේ තියෙන්න පුළුවනි. ඒත් තමන්  සොයන්නෙ මොන වගේ කෙනෙක්ද කියන දීර්ඝ සියුම් විස්තර තියෙන්නෙ ඒ අයගේ යටි සිතේ විතරයි.
මේ සොයන කෙනා තුළ බලා‍පොරොත්තු වෙන ගුණාංග එක් එක් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. නිදසුනක් වශයෙන් එක්කෙනෙක් බොහොම නිහඬ සන්සුන් කෙනෙකුට ප්‍රියතාවයක් දක්වනවා වෙන්න පුළුවන්. තවත් කෙනෙක් එහෙම නැති, ටිකක් දුවන පනින ක්‍රියාශීලී කෙනෙකුට ඇල්මක් දක්වනවා විය හැකියි.
සමහර විට තමන්ගෙ හිතේ රැඳුනු ඒ සියලු සැඟවුණු ගති ලක්ෂණ සහිත කෙනා ජීවිත මාර්ගයේදී ඉතා ඉක්මනින් හමුවෙන්නත් පුළුවනි. පමාවෙලා මුණගැහෙන්නත් පුළුවන්. සමහර විට මුණගැහෙන්නෙ නැතුවම යන්නත් පුළුවනි.
කෙසේ වෙතත් දැකපු ගමන් කෙනෙකුට හිත යනව කියන එකේ රහස තමයි තමන්ගෙම යටිසිතේ තමන්ටම නොදැනී තැම්පත්වී තිබෙන සියුම් ගති ලක්ෂණ එක්ක හරියටම සැසඳෙනව කියල හිතන කෙනෙක් මුණගැසීම.
මෙච්චර කල් මගෙ ඇස්දෙක හෙව්වෙ මේ වගේ කෙනෙක් කියන සිතුවිල්ල ක්ෂණිකව ඇතිවෙනව. මේ තමයි මට හරියන එකම පුද්ගලය කියල හිතන්නත් බැරි තරමෙ උනන්දුවක් සෙනෙහසක් ඇතිවෙනව.
බොහෝ විට දෙන්නම හොයන්නෙ එකිනෙකාට ගැළපෙන ඒ වගේම කෙනෙක්. එහෙම එකම විදිහට හිතන එකම විදිහෙ අදහස් එකම විදිහෙ ගති ලක්ෂණ තියන දෙන්නෙක් හමුවුණොත් ක්ෂණිකවම දැක්ක ගමන් හිත යාමක් සිද්ධ වෙන්න පුළුවනි. අනේ‍යාන්‍යව.
මේක හිතල කරන දෙයක් නෙමේ. යටිහිතේ ක්‍රියාකාරීත්වය නිසා තමන්ටම නොදැනී ඉබේම සිද්ධ වෙන දෙයක්.
මේ ක්‍රියාවලිය නිසා සමහර විට ජීවිතේට විවාහ වෙන්නෙ නෑ කියල තීරණයක හිටපු අයත් ඒ තීරණ වෙනස් කරල විවාහ වෙලා තියනවා. සමහර පූජක දිවිය තෝරා ගත් අය පවා ඒ දිවියට සමුදීලා තමන්ගෙ හිත ගිය කෙනෙක් සමග විවාහ වූ අවස්ථා තියනවා.
හැම විවාහයකටම හැම ආදරයකටම හේතුවෙන්නෙ “දැකපු ගමන් සිත බැඳුනු” අවස්ථාවක් නොවෙන්න පුළුවන්. ඒත් බොහෝ අයට දැකපු ගමන් තමන්ටම නොදැනී හිතට ආපු මොකක්දෝ මහා කැළඹීමක්, මහා සතුටක්, උදේ‍යා්ගයක් සමග පෙර අත් නුදුටු සුවිශේෂ සුන්දර අත්දැකීමක් නිසා විවාහයකට පදනමක් ඇතිවූ අවස්ථා තියෙනවා.
හැබැයි තමන්ගෙ සිතැඟි, අදහස් උදහස් එක්ක සීයට සීයක් ගැළපෙන කෙනෙක් හමුවුණා වුණත් ඒක ආදර සම්බන්ධයක් වීමත් අත්‍යවශ්‍යම දෙයක් නෙමේ.
ඒ වගේ තමන්ගෙ යටි හිතේ මිනුම් දඬුවලට හරියන අය මුණගැහුණම බොහෝ විට හොඳ මිතුරන් බවට පත්වෙලා ඉන්නව. පෙම් සබඳතාවක් බවට පත්විය යුතුමයි කියල නියමයක් නෑ.
ඔබව කාව හරි දැක්ක ගමන් හිත ගියා නම් හිතල බලන්න ඇයි එහෙම වුණේ කියල. ඔහුගෙ ඇයගේ කතා විලාශයට ඇවිදින හැටි  හිනාවෙන හැටි භාවිතා කරන වචන, ඇඳල ඉන්න ඇඳුම වගේ දේ එකින් එක අරගන හිතල බලන්න. සමහර විට මේ මිනුම් දඬුවලින් එකක් හෝ බොහොමයක් නිසා ඔබ ඔහුට/ඇයට ක්ෂණික ලෙන්ගතු කමක් ඇති කරගන්න ඇති.
බොහෝ විට ඔබ ප්‍රිය කරන ඒ ගුණාංග ඔබ තුළත් තිබෙන්න පුළුවනි. ඔබේ හිත යන කෙනා හරියට ඔබවම නැවත ඔබට පෙන්වන කැඩපතක් වගේ.
හැම ගුණාංගයක්ම නෙමේ. සමහර ගති ලක්ෂණ හාත්පසින්ම වෙනස් වෙන්නත් පුළුවන්.  
ඉතින් ඔබට කෙනෙක් ගැන පැහැදීමක් ඇතිවෙන තරමට ‘හිත වැටුණනම්’ හිතන්න ඔබ මොන විදිහේ ගති ලක්ෂණ වලටද එහෙම ඇලුම් කරන්නෙ කියල. ඔබේම චරිතය ගැන ඔබටම දැනගන්න ඒක ලොකු රුකුලක්. තමන් ගැනම හොඳ අවබෝධයක් තිබිම ලොකු වාසියක් සතුටින් ජීවත්වීමට

මයිකල් ආන්ජලෝ

No comments:

Post a Comment

Hey Guys....
Come and Join with me.........