Sunday, November 25, 2012

විකුණන අරමුණෙන් උපදින 'වෙළෙඳ දැන්වීම්' කලාවක්ද?

DJ Avantha Creations


38-1මීට කලකට පෙර රූපවාහිනියෙන් අතිශයින්ම ජනප්‍රිය වූ ප්‍රහසනාත්මක වැඩසටහනකින් ඉතා නිර්මාණශීලී අයුරින් රූපවාහිනියේ ඇති දුර්වලතා උපහාසයට ලක් කිරීම සිදුවිය. වරක් ඔවුහු රූපවාහිනී සංවාදයක ආකෘතියකින් සිය වැඩසටහන ඉදිරිපත් කළහ. ඒ අතරතුර ඔවුහු තේ පානය කරති. තේ කෝප්පවල සහ බඳුන්වල අදාළ වැඩසටහනට අනුග්‍රහය දක්වන නිෂ්පාදනය වන ‘ලතා තේ’ යන්න මුද්‍රණය කොට තිබේ. මේ නම මගින්ම උපහාසයක් දනවන අතරේ ඔවුන් පානය කරන බව දක්වන කෝප්ප හිස් ඒවා බව පෙනෙන පරිදි කැමරාව හැසිරවේ. මෙයින් පෙන්වා තිබෙන්නේ සැබෑ රූපවාහිනී වැඩසටහන්වල ඇති වෙළෙඳ ‍ප්‍රෝඩාවයි.
කෙසේ වුවද
වාණිජකරණය වූ ලෝකයක් තුළ අපට වෙළෙඳ දැන්වීම්වලින් තොර ආර්ථිකයක් පිළිබඳව මවා ගැනීමට හෝ හැකියාව ඇත්ද යන්න සැක සහිතය. එහෙත් මේ වන විට වෙළෙඳ දැන්වීම් එහි මූලික පරමාර්ථය වන භාණ්ඩ හෝ සේවා වෙත පාරිභෝගිකයන් ආකර්ෂණය කරවා ගැනීම එසේම පවත්නා අතරම එය කලාව සමග සමීප සම්බන්ධයක් ගොඩනගාගෙන ඇති බැව් පෙනෙන්නට තිබේ. මේ සබඳතාවට හේතු වී ඇත්තේ ආකර්ෂණය පවත්වා ගැනීමේ අවශ්‍යතාවයි. වෙළෙඳ ‍පොළෙහි භාණ්ඩ හෝ සේවා අනේ‍යාන්‍ය වශයෙන් ඇති කරගත් තරගය නිසා වෙළෙඳ දැන්වීම් මතු වූවා සේම එම වෙළෙඳ දැන්වීම් අතරද ඒ ආකාරයේම තරගයක් ඇති වන්නට එතරම් කලක් ගත නොවීය. මේ තරගකාරිත්වය ජය ගැනීමට බොහෝ විට උපකාරී වී ඇත්තේ උපරිම නිර්මාණශීලී ස්වභාවයක්  සහිතව දැන්වීම් නිර්මාණය කිරීමය. දැන්වීම් වඩාත්ම කලාත්මක වන්නට පටන් ගත්තේ ඒ අනුවය.
වෙළෙඳ දැන්වීම්වල ගමන් මග දෙස බලා සිටි ඇතැම් පුද්ගලයෝ එය තවත් එක්තරා කලා මාධ්‍යයක් බව පැවසූහ. ර්චපඵඩචතත ර්ජතභඩචද 1976 දී වෙළෙඳ දැන්වීම් යනු විසිවැනි සියවසේ විශිෂ්ටතම කලාව බව පැවසුවේ එබැවිනි. එම අදහසට පක්ෂ වූවෝ සේම විරෝධය දැක්වූවෝද එමටය. ඒ අනුව දැන්වීම්කරණය යනු කලාවක්ද නොවේද යන්න අතීරණාත්මක සංවාදයක් බවට පත් වී තිබේ.
එය කලාවක් වූවත් නොවූවත් වෙළෙඳ දැන්වීම් සිය සාර්ථකත්වය සඳහා වඩාත්ම යොදා ගත්තේ කලාවේ ඇතැම් මූලික සංකල්ප බව පැහැදිලිව පෙනෙයි. කාව්‍යකරණයේ ඇති සංක්ෂිප්ත බව වෙළෙඳ දැන්වීම් තුළින්ද අපි අත්දකිමු. කවියට සංක්ෂිප්ත බව උරුම වූයේ සෞන්දර්යාත්මක අගයක් ලෙසින් වුවද වෙළෙඳ දැන්වීමට සංක්ෂිප්ත බව එක් වූයේ වාණිජමය පදනමකිනි. එනම් දැන්වීම් පළ වන මාධ්‍යයක මුද්‍රිත,ගුවන් හෝ දෘෂ්‍ය අවකාශයට ඉතා ඉහළ වටිනාකමක් හිමි බැවින් දැන්වීම අතිශයින්ම සංක්ෂිප්ත විය යුතුවෙයි.
එමෙන්ම අපූර්වත්වය හෙවත් පෙර නොවූ විරූභාවය දැන්වීම් තුළින් දැකිය හැකි ප්‍රධානතම ලක්ෂණයක් වී තිබේ. අපූර්ව දෙයක් ගෙනහැර දක්වන කලා නිර්මාණ අපේ අවධානය යොමු කරගන්නා ආකාරයෙන්ම දැන්වීම් තුළ ඇති අපූර්වත්වය අප ග්‍රහණය කර ගැනීමට සමත් වෙයි. ඒ අනුව වෙළෙඳ දැන්වීමකින් ප්‍රචාරණය කරන භාණ්ඩයට කිසි ලෙසකින් හෝ සබඳතාවක් නොමැති දෙයක් අපූර්ව ලෙසින් යොදා ගැනීමට නිර්මාණකරුවන්ට පුළුවන. ඇතැම් දැන්වීම් කාලීන වශයෙන් ඉමහත් ජනප්‍රියත්වයට සහ කතාබහට ලක් වන්නේ මේ නිසාය. ඇතැම් ඒවා දිගු කාලයක් ඉක්ම ගිය පසුද අපේ මතකයේ රැඳී තිබේ. වෙළෙඳ දැන්වීම් ක්ෂේත්‍රයේ නිර්මාණකරුවන් ලෙස බොහෝ විට යොදාගැනෙන්නේ තරුණයන් හා නවකයන්ය. එමෙන්ම ඉහළ නිර්මාණශීලීත්වයක් ඇති පුද්ගලයන් සඳහා අධික ඉල්ලුමක් හා වැඩි වටිනාකමක් ලබා දීමත් මෙම ක්ෂේත්‍රයේ ස්වභාවයකි. නිර්මාණශීලීත්වය පවත්වාගෙන යාමේ අත්‍යවශ්‍යතාව මෙයට හේතුව වී තිබේ. 38-2
කතාන්දර කීමේ උප-ක්‍රම මනාව ග්‍රහණය කර ගැනීමට වෙළෙඳ දැන්වීම් නිර්මාණකරුවෝ මහත් දක්ෂතාවක් දක්වන අයුරු වෙළෙඳ දැන්වීම්
නිරීක්ෂණයෙන් පහසුවෙන්ම අවබෝධ කොටගත හැකිය. කාලය සමග දියත් කරන්නට වන සටනට මනාව මුහුණ දීමට වෙළෙඳ දැන්වීම් අති
සූක්ෂම ලෙසින් කටයුතු කරන නිසා ප්‍රබන්ධ කතාව, නාට්‍යය හා සිනමාවේ එන කතාන්දර කීමේ උපක්‍රමයන්හි උච්ඡතම අවස්ථාවක් වෙළෙඳ දැන්වීම් තුළින් හඳුනාගත හැකිය. ඉන්දියාව සහ අනෙකුත් පෙරදිග රටවල සාම්ප්‍රදායික ආවේණියක් ලෙසින්ද හඳුනාගත හැකි කතාන්දර කීමේ වැඩි නැඹුරුව ඔවුන්ගේ වෙළෙඳ දැන්වීම් ඇසුරින්ද වටහා ගත හැකිය. ඒ අනුව අප එදිනෙදා දකින්නට ලැබෙන ඉන්දියානු වෙළෙඳ දැන්වීම් බොහොමයක කිසියම් මුල මැද අග සහිත සිදුවීමක් ඇති බව පෙනේ. එහෙත් බටහිර රටවල නිර්මාණය කෙරෙන දැන්වීම්වල එවන් සිදුවීමකට වඩා අවස්ථා මැවීමක් සිදු කිරීමට උත්සාහ ගනී.
එසේම මේ දැන්වීම් සඳහා බොහෝ විට සිනමා දියුණු සිනමා ව්‍යාකරණයන් යොදා ගැනීම කෙරෙහි අවධානය යොමු කරයි. සිනමාවේ එන “මිස් ඔන් සීන්”( ර්ඪඵඥ ද ඵජඥදඥ- මෙහි අර්ථය ‘රූප රාමුව තුළ ඇති සියල්ල පිළිබඳ අවධානය’ වශයෙන් ගත හැකිය) වැනි සංකල්ප මේවායේදී ප්‍රබල ලෙසින් යොදා ගෙන ඇති අයුරු නොයෙක් විට දැකිය හැකිය. මෙවන් සංකල්ප සිනමාවේ යොදාගත්තේ එහි සෞන්දර්යාත්මක බව ඔසවා තබන්නටය. නමුත් දැන්වීම්කරණයේදී ඒවා යෙදෙන්නේ ප්‍රචාරණය අරමුණු කරගත් ප්‍රකාශනය ඉස්මතු කිරීමට බව පෙනේ.  චිත්‍රපට නිර්මාණකරුවන්ටත් වඩා උපක්‍රමශීලී සහ ප්‍රයෝගාත්මක ලෙසින් රූප රාමු ගොඩනැගූ, වස්තු සහ චරිත සංයෝජනය කළ අවස්ථා වෙළෙඳ දැන්වීම් ඇසුරින් වටහාගත හැකිය.
බොහෝ කලාවන්ට ‍පොදු ලක්ෂණයක් වන්නේ ඒවා සම්භාව්‍ය හා ජනප්‍රිය භේදයකින් යුතුව පෙනී සිටීමයි. සම්භාව්‍ය යන්න සෑම විටම විදගද්ධ රසවින්දනය සමගින් පෙනී සිටින අතර ජනප්‍රිය කලා ‍පොදුජන රුචිය ඉස්මතු කරයි. වෙළෙඳ දැන්වීම් තුළද වඩාත් සංවිධිත ආකාරයෙන් ගොඩනැගී ඇති ඉහළ ප්‍රකාශන වටිනාකමක් සහිත නිර්මාණ සහ එසේ නොවන ඒවා හඳුනාගත හැකිය.
මේ කරුණු සලකද්දී  දැන්වීම්කරණය කලාවන් සමග ඇති අන්තර් සබඳතාව ඉතා ඉහළ එකකි. එමෙන්ම එය කලාවේ මූලික අරමුණුවලින් බැහැර වන අවස්ථාවන්ද තිබේ. පරමාර්ථ වශයෙන් එය මූලිකවම වාණිජවාදී සහ ප්‍රචාරකවාදී වෙයි. මෙය හුදෙක් කලා කෘතියක් වාණිජ වාදී හා ප්‍රචාරකවාදී වීමට වඩා වෙනස් වෙයි. එනම් වෙළෙඳ දැන්වීම සමග වාණිජත්වයට ඇත්තේ සමීප බැඳීමකි. මෙය මෙලෙස පැහැදිලි කරගත හැකිය. කිසියම් පුවත්පතක කවි තීරුවකට කවි සපයන රචකයෙකු ඒ සඳහා මුදලක් ලබා ගන්නේ යැයි සිතමු. ඔහුගේ අරමුණ වාණිජ වේ. නමුත් පුවත්පතේ සංස්කාරකගේ අරමුණ සෘජු වාණිජ එකක් නොවේ. ඔහුට අවශ්‍ය කලාත්මක හා සෞන්දර්යාත්මක වූද පාඨකයාට ඉහළ රසවින්දනයක් ලබා දෙන නිර්මාණ පුවත්පතේ පළ කිරීමටය.
එහෙත් කිසියම් නිර්මාණකරුවෙකු භාණ්ඩයක් සඳහා වෙළෙඳ දැන්වීමක් නිර්මාණය කොට මුදල් ලබා ගැනීමේදී තත්ත්වය වෙනස්ය. වෙළෙන්දා අරමුණු කරන්නේ භාණ්ඩයේ ප්‍රචාරණය මිස කලාත්මක බව නොවේ. එහි කලාත්මක බව ප්‍රචාරණය පිණිස යොදාගන්නා එක්
ලක්ෂණයක් පමණි.
මෙහිදී පුවත්පත් සංස්කාරකවරයාගේ අරමුණද වැඩි පුවත්පත් ප්‍රමාණයක් විකුණා මුදල් ඉපයීම බව කෙනෙකුට තර්ක කළ හැකිය. නමුදු ඔහුගේ වාණිජ අරමුණ නිර්මාණකරණයෙන් වඩාත්ම දුරස් වෙයි. මන්ද යත් ඔහු කවිය තුළින් ප්‍රධාන වශයෙන් නිර්මාණාත්මක භාවය අපේක්ෂා කරන බැවිනි. එහෙත් දැන්වීම්වල මුඛ්‍ය අරමුණ ප්‍රචාරණය වෙද්දී කවියේදී එය වක්‍ර අරමුණක් වෙයි. ඒ අනුව කලාවේ සහ දැන්වීම්කරණයේ අරමුණුමය වශයෙන් පරස්පරතාවක් තිබේ.
සියලුම කලාවන් ‍පොදුවේ ලලිත කලා සහ ව්‍යවහාරික කලා යන කොටස් දෙකට බෙදෙයි. ලලිත කලා නම් හුදෙක් භාව ප්‍රකාශනයත් සෞන්දර්ය ජනනයත් අරමුණු කරගත් කලාවන් වන අතර ව්‍යවහාරික කලාවක් මිනිසාගේ වෙනත් ක්‍රියාකාරකමක් හෝ අවශ්‍යතාවක් සමග බැඳී තිබේ. වෙළෙඳ දැන්වීම්ද කලාවක් නම් නියත වශයෙන්ම මින් එක් ගණයකට අයත් විය යුතුය. භාරතීය සංගීතයේ එන රාගයක් ගත හොත් එය ලලිත කලාංගයකට උදාහරණයකි. ඒ එහි ඇත්තේ සෞන්දර්යාත්මක ප්‍රකාශනයක් පමණක් වන බැවිනි. මහනුවර යුගයේ විහාර චිත්‍ර සැලකුවහොත් ඒවා ව්‍යවහාරික කලාවකට හොඳ උදාහරණයකි. ඒවා ඇඳ ඇත්තේ බැතිමතුන්ට ආගමික කරුණු අවබෝධ කර දීමට වන බැවිනි. ඒ අනුව  කලාත්මකභාවයට අමතරව කිසියම් උපයෝගීතාවක්ද දක්වන බැවින් දැන්වීම් ව්‍යවහාරික කලාවක් බව කිව හැකි මුත් එය අනෙක් ව්‍යවහාරික කලාවන්ගෙන් වෙනස් වන ලක්ෂණද දරයි.
සෑම ව්‍යවහාරික කලාවක්ම ලලිත කලා ස්වභාවයෙන්ද පවතින බැව් පෙනේ. උදාහරණයක් ලෙස විහාර චිත්‍ර ව්‍යවහාරික කලාවක් වෙද්දී ලලිත කලාවක් වන සෞන්දර්යයම අරමුණු කරගත් චිත්‍ර ද තිබේ. නමුත් දැන්වීම්වල එලෙසින් වෙන් කොටගත හැකි ලලිත කලා ස්වභාවයක් නොවේ. මන්දයත් දැන්වීම් උපත ලබා ඇත්තේද ව්‍යවහාරික කලා ප්‍රවාහයක් ලෙසින් වන බැවිනි. එනම් ප්‍රචාරණය යන උපයෝගීතාවය නොමැතිව සෞන්දර්යය පමණක් අරමුණු කරගත් දැන්වීමක් නිර්මාණය කිරීමට හැකියාවක් තිබේද යන්න පැනයකි.
මීට අමතරව මුද්‍රිත මාධ්‍යන් උදෙසා නිර්මාණය කරන දැන්වීම් පිළිබඳව සැලකුවහොත් ඒවා බොහොමයකද ප්‍රබල නිර්මාණශීලීත්වයක් ගැබ්ව ඇත්තේ තාක්ෂණික සහයද ලැබිමෙන් බව පෙනේ. ඡායාරූප සංස්කරණය සහ නිශ්චල රූප නිර්මාණය සඳහාම නිර්මාණය වී ඇති පරිගණක වැඩසටහන් මගින් සිදු කළ හැකි ප්‍රාතිහාර්යයන් මේ දැන්වීම් තුළ නොමදවම අන්තර්ගත වී තිබේ. එමෙන්ම දෘෂ්‍ය මාධ්‍යයන්ද ඔවුන්ගේ දියුණු තාක්ෂණයන් සමග කරන අලුත්ම ගනුදෙනු අපට දැකබලාගත හැක්කේ වෙළෙඳ දැන්වීම් තුළිනි. වෙළෙඳ දැන්වීමවලට නැගුණු එක් ප්‍රබලතම චෝදනාවක් වූයේ ඒවා ස්ත්‍රීත්වය අලෙවි කරන බවය. ස්ත්‍රී ලාලිත්‍යය සමග කිසිදු සබඳතාවක් නොමැති එන්ජින් ඔයිල් වැනි නිෂ්පාදන ප්‍රචාරයට පවා කාන්තාවන් යොදා ගැනීම වෙළෙඳ  ප්‍රචාර-ණය තුළ සාමාන්‍ය දෙයකි.
මේ ආකාරයෙන් කාන්තාව වෙළෙඳ දැන්වීම් තුළ වැඩි ඉඩක් අත්කර ගැනීමට හේතු කිහිපයකි. ‍පොදුවේ
ශිෂ්ටාචාරය පුරා පැතිර ඇති පුරුෂමූල ස්වභාවය තුළ කාන්තාව වෙළෙඳ සංඥාවක් බවට පත්කරගැනීම පහසුවෙන්ම කළ හැක්කකි. එමෙන්ම බොහෝ ක්ෂේත්‍රවල මෙන් මෙහිද බහුතරයක් පුරුෂයන් සේවයේ යෙදී සිටීමද එක් හේතුවකි. අනෙක් අතින් ඉලක්ක පාරිභෝගිකයන් පිරිස පුරුෂයන් වන විට වෙළෙඳ දැන්වීම් තුළට කාන්තාවෝ වැඩිපුර පිවිසෙති.
වෙළෙඳ දැන්වීම් සඳහා සම්මාන උළෙල පැවැත්වීම, වෙළෙඳ දැන්වීම් නිර්මාණ තරග සංවිධානය ආදිය පවා පැවැත්වෙන තරමට එම ක්ෂේත්‍රය ස්වාධීන
ලක්ෂණ දරමින් වර්ධනය වී තිබේ.  දැන්වීම්කරණයේ ප්‍රබලබව
පිළිබඳව ඉඟියක් ඒ තුළ අන්තර්ගත වී තිබේ.
වෙළෙඳ දැන්වීම්වල අපූර්වත්වය විමසන විට තවත් එක් අපූරු අමතක කළ නොහැකි කරුණක් තිබේ.
මෑතකාලීනව ඇති වූ කලාව සම්බන්ධ කතිකාවලදී බොහෝ විට කියැවෙන අදහසක් වන්නේ වාණිජත්වය සහ ජනප්‍රිය සංස්කෘතිය තුළ කලාවේ සම්භාව්‍යත්වයත් ගැඹුරු සෞන්දර්යාත්මක වින්දනයත් ගිලිහි යන බවය. මන්ද යත් වාණිජකරණය තුළ සියල්ල ‍පොදු ජන රුචියට අනුව හැසිරවෙන බැවිනි. නමුත් මේ ප්‍රකාශය වෙළෙඳ දැන්වීම් සඳහා ඒ අයුරින්ම ගැළපෙන බැව් නොපෙනේ. මන්ද යත් තරගකාරී වාණිජත්වය තුළ වෙළෙඳ දැන්වීම් වඩාත් කලාත්මක හා සෞන්දර්යාත්මක ස්වභාවයන් අත්පත් කරගත් බැවිනි.
ඒ අනුව සියලුම කලාංගයන් වාණිජත්වය හමුවේ නොගැඹුරු හා අසම්භාව්‍යත්වයට පත් වීමේ ඉරණමකට ගොදුරු වෙද්දී දැන්වීම්(කලාව) පමණක් උඩුගම් බලා පීනන්නේ එය වාණිජත්වයෙන්ම උපන් නිසාම පමණක්ද යන්න පුළුල්ව විමසා පිළිතුරු සපයා ගත යුතු පැනයකි.

No comments:

Post a Comment

Hey Guys....
Come and Join with me.........