Tuesday, January 1, 2013

සමාජයෙන් පරිස්සම්වන්න

DJ Avantha Creations



අප ජීවත්වන්නේ සමාජයකයි. එදා ගල්යුගයේ ජීවත්වූ නොදියුණු අයට වුවත් එක්තරා සමාජයක් තිබුණා. ඒ අය ජීවත්වූ ප්‍රදේශයේ සිටින කිහිපදෙනා ඒ අයගේ සමාජය වුණා. එය සීමිත සරල සමාජයක්. ඒ සැමදෙනාටම තිබුණේ එකම ගතිපැවතුම්. එකම හැසිරීම්. එකම සිතුම් පැතුම්. ඒ නිසා ඒ අයට එකට ජීවත්වන්නට අමාරු වුණේ නැහැ. ඒ සමාජය බොහොම සීමාසහිතයි. එය සමන්විත වූයේ දන්නා හඳුනන කිහිප දෙනෙකුගෙන් වෙන්නට පුළුවනි.
එහෙත් අද අපට මුහුණ දෙන්නට සිදුව ඇති සමාජය අතීතයේ සමාජය මෙන් කුඩා එකක් නොවෙයි. එය පුද්ගලයන් විශාල සංඛ්‍යාවකින්  සමන්විතයි. ඒ සමාජයේ විවිධ පුද්ගලයන් සිටිනවා. ඒ අයගේ හැසිරීම් රටා, ගතිගුණ, චරිත ලක්ෂණ එකිනෙකට වෙනස්. විවිධ වයස් කාණ්ඩවල, විවිධ රුචි අරුචිකම් ඇති, උගත් නූගත් අය රැසක් සමග අපට ජීවත්වන්නට සිදුවෙනවා. ඒ නිසයි අද සමාජය බොහෝ සංකීර්ණයි කියලා කියන්නේ.

ඉතින් මේ පුළුල් සමාජයේ ජීවත්වන අපට මුහුණපාන්නට වන ගැටලුද අනන්තයි. අප්‍රමාණයි. අප ඇසුරු කරන සමාජයේ දහයක් ගත්තොත් ඒ අය දහ ආකාරයි. එකිනෙකා කුමන අන්දමකින් හෝ එකිනෙකාට වෙනස්. සමාජයේ අපි ඔක්කොම සමානයි කියල කිව්වට එහෙම සමාන බවක් පෙනෙන්නට නැහැ. සමාජය විවිධයි. විෂමයි. ගැඹුරුයි. එය විවිධ තලවලින් සමන්විතයි. එවැනි සංකීර්ණ සමාජයක පුද්ගලයන් සමග ඇසුරුකිරීම බොහොම අමාරුයි. එය විශාල අභියෝගයක්. විශාල සටනක් කියලයි කියන්නේ.
ඒ වුණත් අපට සමාජයෙන් වෙන්වෙලා ජීවත්වන්න බැහැ. අපට ඇසුරු කිරීමට සමාජය අවශ්‍යම වෙනවා. එහෙත් පුද්ගලයාගේ වයස, උගත්කම, තනතුර, දුප්පත් ‍පොහොසත්කම ආදි විවිධ හේතුමත ඇසුරු කරන සමාජයද වෙනස්විය හැකියි. කුඩා දරුවා, පාසල් යන ශිෂ්‍යයා ඇසුරු කරන්නේ ඔහුට අදාළ සමාජ කොටසක්. ඒ වයසේදී තමාගේ වයසට ඔබින පුංචි දරුවන් තමා ඒ අයගේ මිතුරන් වන්නේ. දරුවා වැඩී තරුණ වයසට පත්වූ පසු ඔහු ඇසුරු කරන්නේ තම වයසට ගැළපෙන අයයි. මැදි වයසට ගිහින් මහලුවූ පසුද ඒ අය ආශ්‍රය කරන්නේ තරුණ කාලයේ ඇසුරු කළ අය නොවෙයි.
එසේම සමාජයේ කරන රැකියාව අනුවද ඇසුරු කරන්නට ලැබෙන අය වෙනස් වෙනවා. තමා රැකියාව කරන ස්ථානයේ තමන් සමග සමාන රැකියාවක නිරතවන අය ඇසුරු කරන්නට පෙළඹෙනවා. ඒ වගේම ඉහළ රැකියාවල නිරත අය ඇසුරු කරන්නේ තමාට ගැළපෙන සමාන රැකියා කරන අයයි.
උගත්කම අනුවත් ඇසුර වෙනස් වෙනවා. උගතුන් උගතුන් සමග ආශ්‍රය කරන අතර නූගත් අය තමන්ට සමාන අධ්‍යාපනය ලැබූ අය හා ඇසුරු කරනවා ඇති. උගත් සහ නූගත් අය අතර සම්බන්ධතාවක් ගොඩනැගෙන්නේ ඉතාම අඩුවෙන්.
ඒ වගේම තමා, දුප්පත් ‍පොහොසත් අය අතරද ඇසුර වෙනස් වෙනවා. බොහෝ විට දුප්පතුන්ගේ කල්‍යාණ මිත්‍රයන් වන්නේ ඔවුන් වැනි දිළින්දන් විය හැකියි. ධනපති අය සමග වඩා ඇසුරු කරන්නේ ධනපතියන්මයි. ඔවුන් දුප්පත් අය සමග ඇසුර වුවමනාවෙන්ම මග හරිනවා.
“ඒ ගොල්ලො අපට පෑහෙන්නේ නැහැ”
“අ‍පොයි ආස්සරේ කරන්න ගියොත් අමාරුයි“
මේ විදියට තමන්ට නොගැලපෙන සමාජ කොටස් මග හරින ගතියක් දක්නට තිබෙනවා.
ඒ කොහොම වුණත් මුලදී කීවා මෙන් යම් අයකු සමග ඇසුරු නොකර නම් කිසිවිටෙකත් හුදකලාව ජීවත්වන්නට බැහැ. ගහකට ‍පොත්ත වගේ අපට අන් අයකුගේ සම්බන්ධය අවශ්‍ය වෙනවා. “එකා සැමටත් - සැම එකාටත්” කියලා කියන්නේ ඒ නිසයි.
එහෙත් සමාජය සමග ගැටී ජීවත්වන්නේ කොහොමද කියන එකයි ප්‍රධානම ප්‍රශ්නය වන්නේ. සමාජයෙන් කොන්වෙලා ජීවත්වෙන්නට බැහැ. සමාජය ප්‍රිය කරන අයට කියන්නේ සමාජශීලී යනුවෙනුයි. මේ සමාජශීලීත්වය හොඳ ගුණයක්. සමාජය ඇසුරු කරන අපට සමාජය වෙනුවෙන් ඉටුකළ යුතු යුතුකම් රැසක් තිබෙනවා. ඔබගේ වයස, තත්ත්වය, දුප්පත් - ‍පොහොසත්කම, ගැහැනු පිරිමි බව කොහොම වුණත් ඔබට සමාජය වෙනුවෙන් විශාල මෙහෙවරක් කළ හැකියි. ඔබ සමාජයට මෙහෙවරක් කරන අතරේ සමාජයෙන්ද ඔබට යුතුකම් කොටසක් ඉටු කෙරෙනවා ඇති. එහෙම නොවුණොත් මේ අන්තර් සම්බන්ධය පළුදු වෙනවා.
සමහරුන් කියන්නේ තේරුම් ගන්නම බැරිම දේ සමාජය කියලයි. සමාජය නිසි පරිදි තේරුම් ගතහොත් ඔබට හොඳට සමාජශීලී ලෙස ජීවත් වන්නට පුළුවන්. නරක සමාජයකට අහුවුණොත් හොඳ අයත් නරක් වන්නට පුළුවන් අතර හොඳ සමාජයකට එකතු වුණොත් නරක අයත් හොඳ වන්න ඉඩ තිබෙනවා.
මේ නිසා සමාජය සමග ඇසුරුකිරීම ඉතාම ප්‍රවේශමෙන් කළ යුතුයි. ඒ මොකද සමාජයේ සමහර පුද්ගලයන් තේරුම්ගැනීමට අපහසු නිසා. ඒ සමගම වැඩිපුර සමාජයට යාමත් එතරම් ගුණදායක නොවෙනවා ඇති. සමාජයේ ඕනෑ එපාකම් අනුව කටයුතු කිරීමට යාම ඇතැම් විට ඔබට අහිතකර විය හැකියි. ඒ නිසා සමාජය සමග එක්වීමේදී බොහොම පරිස්සමෙන් කටයුතු කළ යුතු වෙනවා.

No comments:

Post a Comment

Hey Guys....
Come and Join with me.........