Saturday, January 12, 2013

“මම ඉක්මනට නිදහස්වෙලා ඔයාලට සබන් සහ ක්‍රීම් අරන් එන්නම්”

DJ Avantha Creations

Rizanaගෙදරට කතා කළ අවසන් වතාවේ රිසානා නංගිලා දෙදෙනාට කියලාසෞදි අරාබියේ ෂරියා අධිකරණය විසින් මරණ දණ්ඩනය නියම කර තිබූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකා රිසානා නෆීක්ගේ හිස ගසා දමන ලද බව කියන දුක්බර පුවත ලක්වාසී සියලු දෙනාගේ නෙතට කඳුළක් ඉනූ ආරංචියක් බවට සැකයක් නැත. කිරි කැටි බිලිිඳෙකු මරා දැමූ බව කියන අභූත චෝදනාවට ෂරියා නීතිය මගින් රිසානා දැරිය වරදකාරිය වී සෞදි අරාබියේ ද්වාද්මී බන්ධනාගාරයේ වසර හතකුත් මාස අටක් සිරදඬුවම් විඳි රිසානාගේ හිස ගසා දමනු ලැබූයේ ඉකුත් 09 දා ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 11.40ට බව සෞදි අරාබි ආරංචි මාර්ග තහවුරු කර තිබුණි.

රිසානා නෆීක් නිදහස් කරන ලෙස ජනාධිපතිතුමන් කරන ලද ඉල්ලීමට සෞදි රජයෙන් යහපත් ප්‍රතිචාර ලැබි ඇති බව ඩිලාන් පෙරේරා අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී එදින (09) පස්වරුවේ කියා සිටිද්දීත්, සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා රිසානා වෙනුවෙන් ශෝකය පළ කිරීමට විනාඩියක නිශ්ශබ්දතාවයක් යෝජනා කරද්දීත් මුතූර් සාෆි නගර් පැල්පතක වෙසෙන රිසානාගේ දෙමාපියනුත් නංගිලා දෙදෙනා හා මල්ලීත් රිසානාගේ හිස ගසා දමා මරණයට පත් කරපු බවක් දැන සිටියේ නැත.
රිසානා මරණීය දණ්ඩනයෙන් මුදවා ගැනීම සඳහා විශාල කාර්යභාරයක් සිදුකළ මුතූර් ප්‍රදේශයේ ප්‍රකට සමාජ සේවකයකු මෙන්ම ප්‍රජා සංවිධායකයකු වන ඒ.ඩබ්.එම්. ජිහාද් මහතා ඉකිබිඳිමින් ලියුම්කරුගෙන් විමසා සිටියේ රිසානා මරා දැමුණු පුවත රිසානාගේ මාපියන්ට හා සහෝදර සහෝදරියන්ට කියා සිටින්නේ කෙසේද පිළිබඳවය. රිසානා නිදහස් වී නිවස කරා පැමිණෙන පණිවුඩය ගෙන යාමට ඇඟිලි ගැන ගැන සිටි ජිහාද්ට අවසානයේ සිදුවූයේ රිසානා මරා දමන ලද බව කියන අවාසනාවන්ත පණිවුඩය රිසානාගේ නිවසට ගෙන යාමටය.
Rizana-familරිසානා මරා දැමුණු පුවතින් කැළඹුණු ප්‍රදේශවාසීන්ගෙන් රිසානාගේ නිවස පිරී යද්දී රිසානාගේ පියා වන මොහොමදු සුල්තාන් නෆීක් වෛරස් උණක් වැළඳීම හේතුවෙන් මුතූර් රෝහ‍ලේ ප්‍රතිකාර ලබමින් සිටියේය. රිසානා මරා දැමුන බව කියන පුවතින් මුතූර් සාෆි නගර් ගම්මානය එකම මළ ගෙයක් බවට පත්ව තිබුණි. රිසානාගේ මව වූ අහමදු සෙයියදු ෆරීනා (43) ඔවුන්ගේ නිවස වූ කුඩා පැල්පත තුළ මහ හඩින් වැළපෙද්දී ප්‍රදේශවාසී කාන්තාවෝ ඇය සමග එම කඳුළු බෙදා ගනිමින් සිටියෝය. රිසානාගේ මරණය සැලවීමත් සමග ඇයගේ මව තරමක් කලහකාරී ලෙස හැසිරෙමින් සිටි බවද කියවේ. රිසානාගේ නංගිලා දෙදෙනාද සිය අක්කාගේ වියෝවෙන් මහත් සේ කැළඹී සිටියාය.
රිසානා නෆීක් විදේශ රැකියාවක් සොයා සෞදි අරාබියට යන්නේ 2005 වසරේදීය. එවිට රිසානාගේ වයස අවුරුදු 17කි. සෞදි අධිකරණය විසින් රිසානාගේ හිස ගසා දමන විට ඇයගේ වයස අවුරුදු 25කි. ව්‍යාජ ‍ලේඛන ඉදිරිපත් කරමින් විදේශ ගමන් බලපත්‍රයක් සකසා රිසානා වැනි අඩු වයස්කාරිනියන් විදේශ ගතකිරීම නැගෙනහිර පළාතේ විශේෂයෙන් මුස්ලිම් ප්‍රදේශ ආශ්‍රිතව අමුතු කාරණයක් නොවේ. මිනිස් ජාවාරම සිදු කරන උප විදේශ රැකියා නියෝජිතයනට අඩු වයස්කාරිනියක් එක් දිනකින් වැඩි වයස්කාරිනියක් බවට පත්කිරීම මහ කජ්ජක් නොවේ. විශේෂයෙන් මුස්ලිම් දැරියන් ඊට බිලිවීම කැපී පෙනේ. ඒ ඔවුන්ගේ මාපියන්ගේ ද කැමැත්ත ඇතිවය.
රිසානාගේ උපන් දිනයද සුවිශේෂීි දිනයකි. ඇය ඉපිද ඇත්තේ ශ්‍රී ලංකාවේ නිදහස් දිනය යෙදී ඇති පෙබරවාරි 04 වැනිදාය. 1988.02.04 දා උපන් රිසානාගේ විදේශ ගමන් බලපත්‍රයේ ඇයගේ උපන් දිනය ලෙස සඳහන්ව ඇත්තේ 1982.02.02 වැනි දිනය. එය සබ් ඒජන්ට් හපන්කමක්ය (උප නියෝජිත). මුතූර් ඉමාම් සාෆි විද්‍යාලයේ දහවැනි ශ්‍රේණියට පමණක් අධ්‍යාපනය ලද රිසානාට අඩු වයසේදී තම අධ්‍යාපනය නිමා කිරීමට සිදු වන්නේ උපතින්ම ඔවුනට හිමි වූ දරිද්‍රතාවය නිසාය.
උප විදේශ රැකියා නියෝජිතයාගේ හෙවත් “සබ් ඒජන්ට්ගේ” සුරංගනා කතාවලින් වශීකෘත වන රිසානා  වයස අවුරුදු 17ක් පමණ වූ හිරිමල් වයසේදී මෙසේ විදේශගත වන්නේ, මහා ලොකු බලා‍පොරොත්තු ගොන්නක් ‍පොදි බැඳ ගෙන නොවේ. රිසානාට තිබුණේ බලා‍පොරොත්තු දෙකකි. නංගිලා දෙදෙනාට හා මල්ලීට හොඳින් ඉගැන්වීම එක් බලා‍පොරොත්තුවක් වූ අතර නංගිලාට නිවසක් ඉදිකරගැනීම රිසානාගේ අනෙක් අහිංසක බලා‍පොරොත්තුව විය. කැලයට ගොස් දර කපා තම පවුල රකින පියාට අත් වැලක් සැපයීම ඇයගේ ඒකායන බලා‍පොරොත්තුව විය.
මේ  බලා‍පොරොත්තු හිතේ දරාගෙන 2005.05.05 වන දින සෞදියට පියාඹන රිසානාට හිමිවන්නේ සෞදි අරාබියේ රියාද් නුවර පිහිටි නිවසක බැල මෙහෙවර කිරීමටය. රිසානාට තම පළමු වැටුප හෝ ගැනීමට පෙර මෙම අවාසනාවන්ත ඉරණම උරුම වන්නේ, එකී නිවසේදීය. එම නිවසේදී රිසානාට පැවරුණු එක් රාජකාරියක් වී ඇත්තේ එම නිවැසියන්ගේ සිව්මස් වියැති දරුවෙකු බලා ගැනීමයි. කුඩා කල සිටම තම නංගිලා මල්ලිලා හදා වඩා ගත් අසල්වාසීන්ගේ දරුවන් බලා කියා ගත් රිසානාට එකී සිව්මස් දරුවා සමග කාලය ගතකිරීම මහත් ආශ්වාදයක් වූවාට සැකයක් නැත. ඇය සැබවින්ම කුඩා දරුවන්ට, සතුන්ට ආදරය කරන එකියකි. එසේ කියන්නේ මුතූර් සාෆි නගර් ගම්වාසීන්ය.
රිසානාගේ ඉරණම විසඳුන මෙම අවාසනාවන්ත දිනය උදා වන්නේ ඇය විදේශ ගත වී දින දාහතක් ගත වූ දින, එනම්, 2005.05.22 වැනි දිනය. එදින රිසානා කිරි බෝතලයකින් දරුවාට කිරි ‍පොවමින් සිටියදී පිටුපසින් පැමිණි ස්වාමිදුව රිසානාගේ හිසට වැරෙන් පහර දී තිබේ. එම පහර දීමේදී රිසානා අතින් එම සිව්මස් දරුවා බිම වැටුණ බව එක් වාර්තාවකින් කියවෙද්දී අනෙක් වාර්තාවෙන් කියැවෙන්නේ උගුරේ කිරි සිරවීම හේතුවෙන් දරුවා මියගිය බවයි. දරුවාගේ මරණය සම්බන්ධයෙන් වෛද්‍යවරයා දී ඇති නිගමනය වන්නේ, කිරි කැටිත්තක් උගුරේ සිරවීම මරණයට හේතුව බවයි. මෙහෙකාරියගේ නොසැලකිල්ල හේතුවෙන් දරුවා මියගිය බව මියගිය දරුවාගේ මාපියන්ගේ චෝදනාව වී තිබේ.
රිසානා බැලීමට ඇයගේ මාපියන් සෞදි බන්ධනාගාරයට ගිය අවස්ථාවේදී රිසානා කියා ඇත්තේ මෙවැනි කතාවකි.
“ගෙදර නෝනා ළමයට කිරි දෙන්න කියලා කිරි බෝත‍ලේ දීලා ගියා. මම බබාට කිරි දෙද්දී කිරි ටිකක් හිර වෙලා බබාට කැස්ස ආවා. මම දන්නේ නැහැ. ඒ වෙලාවට මොකක්ද කරන්න ඕනේ කියලා. මම බබාගේ බෙල්ල අත ගාලා ගෙදර නෝනට මේක කිව්වා. නෝනා ඇවිත් බබා බලලා මට ගහලා කිව්වා බබා හොඳට බලා ගනින් කියලා.... ඊට පස්සේ එයා යන්න ගියා. නමුත් ඒ වෙන කොටත් බබා නැති වෙලා ඉඳල තියෙන්නේ.... මම දන්නේ එච්චරයි”
සෞදි අරාබියේ අධිකරණයක වසර දෙකකට වැඩි කාලයක් මුළුල්‍ලේ විභාග වූ මෙම නඩුව 2007 ජුනි මස 16 වන දින නිමා වන්නේ සිව් මස් දරුවෙකුගේ උගුරේ කිරි සිර කොට මරා දැමීමට එරෙහිව රිසානා නෆීක්ට මරණ දඬුවම නියම කරමිනි. එම නඩුවේදී රිසානා වෙනුවෙන් පෙනී සිටීමට සෞදි රජය නීතිඥයකු ලබා දුන්නද එම නීතිඥයා රිසානා වෙනුවෙන් හරි හැටි කරුණු දක්වා නොමැති බවක් කියවේ. මෙම නඩු විභාගයේදී රිසානා වෙනුවෙන් භාෂා පරිවර්තකයකු ලබාදී ඇතත් ලබාදී ඇති භාෂා පරිවර්තකයා මලයාලම් ජාතිකයෙකි. මලයාලම් ශ්‍රී ලංකාවේ දමිළ භාෂාව අතර විශාල වෙනසක් ඇති බැවින් රිසානා කියූ කිසි දෙයක් ඔහුට වැටහී නැති බවක්ද කියැවේ. ෂරියා නීතිය පාළු ගෙවල්වල වළං බිඳිද්දී ඈත දුර රටක කාත් කවුරුවත් නැතිව තනිවූ රිසානාට සිදුවූයේ ඇයගේ ඉරණම් කතාව ලියවෙන තෙක් මුනිවත රැකීමටය. හියුමන් වොච් නමැති ජාත්‍යන්තර සංවිධානය ඊට සාක්ෂි දරයි. රිසානා මරණ දණ්ඩනයෙන් නිදහස් කර ගැනීම සඳහා හියුමන් වොච් සංවිධානය විශාල පරිශ්‍රමයක් දැරූ ආයතනයකි.
මරණ දඬුවමට නියමවූ රිසානා එය ක්‍රියාත්මක කරන දිනය එනතෙක් රඳවා තබන්නේ සෞදි රාජ්‍යයේ රියාද් නුවරට කිලෝමීටර් 400ක දුරකින් පිහිටි ද්වාද්මී බන්ධනාගාරයේය. තමා මරණ දණ්ඩනයට ලක්වී එම දිනය පැමිණෙන තෙක් මෙසේ රැඳී සිටින බව රිසානා මුලදී දැනනොසිටියාය. සෞදි අරාබියේ සිර දඬුවම් විඳිමින් සිටියදී මෙරට ජනපතිවරයා මෙන්ම පක්ෂ විපක්ෂ බොහෝ පිරිසක් රිසානාට නිදහස ලබා දෙන ලෙස සෞදි රජතුමාගෙන් ඉල්ලීම් කළේය. නමුත් ඒ කිසිදු ඉල්ලීමකට සෞදි අරාබියේ ෂරියා නීතිය වෙනස් කළ නොහැකි විය.
රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම හමුවේ සෞදි රජතුමාටද කළ හැකි දෙයක් නොවූයේ එරට නීතිය ශ්‍රී ලංකාවේ මෙන් රජුට පහළින් නොව රජුටත් ඉහළින් පවතින බැවිණි. රිසානාට නිදහස දිය හැකිව තිබුණා නම් ඒ රිසානා සේවය කළ නිවසේ හාම්පුතා හා ස්වාමි දුව පමණි. ඒ ‍ලේ වන්දිය මගිනි. රිසානාට ජීවිත දානය ලබාදීමට රිසානාගේ හාම්පුතාගේ අකමැත්තක් නොතිබුණද ස්වාමි දුව ඊට දක්වා ඇත්තේ යහපත් ප්‍රතිචාරයක් නොවේ. ඉතාමත් දැඩි හා රළු තීරණයක සිටි ස්වාමි දුව රිසානාගේ හිස ගසා මරා දැමිය යුතුය යන ස්ථාවරය කිසිදු අයුරකින් වෙනස් කිරීමටවත් අකමැති වූ බව කියවේ.
කෙසේ වෙතත් රිසානාගේ මරණ දඬුවම වෙනස් කරන ලෙස ශ්‍රී ලංකාවේ මෙන්ම ජාත්‍යන්තරයද එක හ¾ඩින් ඉල්ලීමේ ප්‍රතිඵලයක් ලෙස ඇයගේ හිස ගසා දමන දිනය තාවකාලිකව අත්හිටුවීමට එරට අධිකරණය කටයුතු කර තිබුණි. එහිදී ශ්‍රී ලංකා රජය හා මානව හිමිකම් සංවිධාන එක්වී රිසානාට නිදහස ලබා දෙන ලෙස සෞදි අධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීමට කටයුතු කළේය. වසර තුනක් මුළුල්‍ලේ විභාගයට ගැණුන මෙම නඩුව 2010 වසරේදී නිමාවට පත්වූයේ ඇයගේ මරණ දඬුවම නැවත වරක් සෞදි අධිකරණය විසින් තහවුරු කරමිනි.
රිසානාට නැවත වරක් මරණ දඬුවම නියම වූ පසු සිර දඬුවම් විඳිමින් සිටින තම දියණිය බැලීමට රිසානාගේ මාපියන්ට අවස්ථාව සැලසී තිබුණි. රිසානාගේ මාපියන් ඇය බැලීමට සෞදි අරාබියේ ද්වාද්මී බන්ධනාගාරයට ගිය අවස්ථාව වන විටද ඇය මරා දැමීමට නියමිතව සිටින බව රිසානා දැන සිටියේ නැත. ද්වාද්මී සිර මැදිරියේ සීතල කම්බිකූරු අතරින් සිය පියාගේ හා මවගේ අත් දෙක අල්ලා ගෙන හඬමින් රිසානා කියා සිටියේ ඉක්මනින් තමා නිදහස් කර ගැනීමට කටයුතු කරන ලෙසයි.
මේ අන්දමින් ඇයගේ මාපියන්ට අවස්ථා දෙකකදී රිසානා බැලීමට අවස්ථාව සැලසී තිබුණද ඇයගේ නංගිලා දෙදෙනාට හා මල්ලීට එම අවස්ථාව ලැබි නැත. රිසානා බන්ධනාගාර ගත වී සිටි කාලයේ අත්කම් වැඩ ඉතා හොඳින් ප්‍රගුණ කර ඇති අතර රිසානා බැලීමට ඇයගේ මාපියන් ගිය අවසන් අවස්ථාවේ රිබන් යොදා ගනිමින් නිම කළ අත්කම් නිර්මාණයක් තම මවට දෙමින් කියා ඇත්තේ මෙය නංගිලාට ගිහින් දෙන ලෙසයි. රිසානාගේ නංගිලා දෙදෙනාට හා මල්ලීට  ඇය බැලීමට නොහැකි වුණද ජංගම දුරකතනයක් මගින් අවස්ථා කිහිපයකදී රිසානා ඔවුන් සමග කතා කර ඇති බව අපට දැන ගත හැකි විය. එතරම් දැඩි නීති පවතින සෞදි බන්ධනාගාරයක් තුළ ඇයට ජංගම දුරකතනයක් ලැබුණේ කෙසේද යන්න ප්‍රශ්නයක් වුවද ඊට වඩා සංවේදී වන්නේ, තම නංගිලාට රිසානා කියා ඇති පණිවුඩයයි.
“මම ඉක්මනට මෙහෙන් නිදහස් වෙලා එනවා. මම එනකොට ඔයාලට සබන් හා ක්‍රීම් අරගෙන එන්නම්.” රිසානා මහත් සෙනෙහසින් තම නංගිලාට එසේ කියා ඇත. ඇයට බන්ධනාගාරයෙන් ලැබෙන සබන් කැට හා ක්‍රීම් වර්ග ඇය ඉතා ප්‍රවේශමෙන් ඉතිරි කර ගන්නා බව ඇය බැලීමට ද්වාද්මී බන්ධනාගාරයට නිතර යන එන සෞදි අරාබියේ සේවය කරන මෙරට වෛද්‍යවරියක වන කිෆාෆා ස්ටිකාර් මහත්මිය පවසා ඇත.
රිසානාගේ හිස ගසා දමන මොහොත වන විට රිසානාගේ පියා සිටියේ මුතූර් රෝහ‍ලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින්ය. ඒ උණ රෝගයක් වැළඳීම හා හෘදයාබාධයක් හේතුවෙනි. රෝහ‍ලේ සියලු කාර්ය මණ්ඩලය මේ සිටින්නේ රිසානාගේ පියා බව දැන සිට ඇතත්, රිසානා මරා දැමුණු පුවත ඔවුන් දැන සිටියේ නැත. රෝහල් වාට්ටුවේ සවි කර තිබූ රුපවාහිනී යන්ත්‍රයෙන් හිස ගසා මරා දමන ලද පුවත එක්තරා නාලිකාවක් මගින් ප්‍රචාරය කරද්දීද රිසානාගේ පියා වන මොහොමදු සුල්තාන් නෆීක් ඉඳ ඇත්තේ අඩ නින්දේය. රිසානා මරා දැමුණු පුවත රෝහල් කාර්ය මණ්ඩලය රිසානාගේ පියාට සැළ කර සිටිද්දී එය දරා ගත නොහැකිව රිසානාගේ පියා මහ හ¾ඩින් හඬා වැටී ඇත. එහිදී ඔහුගේ හෘදයාබාධ තත්ත්වය තවදුරටත් උත්සන්නවී ඇති අතර රෝගී තත්ත්වයද නොසලකා ඔහුගේ ඉල්ලීම මත රෝහලෙන් පිට කර හැරීමට රෝහල් කාර්ය මණ්ඩලය කටයුතු කර තිබේ. රිසානාගේ නැගණියන් දෙදෙනාගෙන් වැඩිමලා වන රිෆ්කාට රිසානා අක්කා මතක ඇතත්, බාල නැගණිය වන රිෆ්නාට රිසානා අක්කා පිළිබඳ මතකයක් නැත. රිසානා විදේශ ගතවී ඇත්තේ රිෆ්නා කුඩා අවධියේවීම ඊට හේතුවයි. රිසානා අක්කා එනතුරු රිෆ්නා ඇඟිලි ගනිමින් බලා සිටියේ අක්කා දුරකතනයෙන් කතා කරද්දී ගෙන එන බව කියූ තෑගි දකින්නටය. රිසානාට මරණ දඬුවම නියම වී සිර කුටියක ගත කරන බව ඈ දැන සිටියත් එහි බරපතළ බවක් ඈ දැන නොසිටින්නට ඇත. රිෆ්කා මෙවර අ‍පොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ඇති අතර, ඇය ඉගෙනීමට දක්ෂ බව ඇය ඉගෙන ගන්නා පාස‍ලේ ගුරුවරුන්ගේ අදහසයි. රිසානා ලබන වසරේ අ.‍පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතය. රිසානාගේ එකම මල්ලී මේ වන විටත් රිසානාගේ ගමන් මග ගනිමින් පාසල් ගමනට ආයුබෝවන් කියා නිවසේ බර කරට ගෙන ඇත.
තම දියණියගේ මළ සිරුර හෝ ගෙනවිත් දෙන ලෙස ඇයගේ මාපියන් රජයෙන් ඉල්ලා සිටියද සෞදි අරාබියේ පවතින නීති රීති හමුවේ එය ඉටු වනු ඇතැයි සිතිය නොහැකි බව සෞදි අරාබි ආරංචි මාර්ග අනුව පැවසේ. රිසානා සෞදි ගියේ, තම නැගණියන්ට හොඳින් ඉගැන්වීමට හා ඔවුනට නිවසක් ඉදි කර දෙන බලා‍පොරොත්තුවෙනි. රිසානාගේ නිවස දකින ඕනෑම කෙනෙකුට පැන නගින්නේ එකම ප්‍රශ්නයකි. ඒ මෙය නිවසක්ද යන්නයි. රිසානාගේ නිවස ඒ තරමටම දිළිඳුය. නමුත් රිසානාගේ මාපියන් කිසි විටක සිය දියණියගේ ප්‍රශ්නය එය ආදායම් මාර්ගයක් කර නොගත් බවද සඳහන් කළ යුතුය. රිසානා සිර අඩස්සියේ සිටියදී රිසානාගේ මාපියන් බැලීමට පැමිණි බොහෝ දෙනකු මුදල්වලින් ඔවුනට ආධාර කළද රිසානාගේ මාපියන් එය එක හෙලා ප්‍රතික්ෂේප කළේය. රත්නපුර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා තරමක ලොකු මුදල් පරිත්‍යාගක් කළද රිසානාගේ මව හෝ පියා ඒ දෙස ඇහැක් ඇර බැලුවේ නැත. ඔවුනට නිවසක් සාදාදීමට මන්ත්‍රීවරයා ‍පොරොන්දු වුවද ඊටද ඔවුන් ප්‍රතිචාරයක් දැක්වූයේ නැත. ඔවුන් ඉල්ලා සිටියේ එකම එක ඉල්ලීමකි. ඒ “අපිට අපේ දරුවා නිදහස් කරලා ගෙනත් දෙන්න වෙන මුකුත් එපා” යන්නයි.
රිසානාගේ මරණ දඬුවම අත්හිටුවන ලෙස සෞදි රජයට ඉදිරිපත් කළ අභියාචනය වසර තුනක් මුළුල්‍ලේ විභාග කෙරුනද ඒ කිසිදු නඩු විභාගයකට රිසානාගේ නියම උප්පැන්න සහතිකය ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා රජය අ‍පොහොසත් වී ඇත. මෙම ළදරු ඝාතනය සිදුවන අවස්ථාවේ රිසානා වයස අවුරුදු 18ට  අඩු බාල වයස්කාරිනියක් බව ඔප්පු කිරීමට රජය හෝ විදේශ කටයුතු අමාත්‍යංශය මීට වඩා මැදිහත්වීමක් කළේ නම්, ප්‍රතිඵල වෙනස්වීමට ඉඩ තිබුණි. රිසානාගේ නියම උප්පැන්න සහතිකය අදටද ඇය ඉගෙන ගත් පාස‍ලේ තිබෙන බව එම විද්‍යාලයේ ගුරුවරයකු අප සමග කියා සිටියේය.
 මංගලනාත් ලියනආරච්චි
රිසානාගේ ඝාතනය සෞදි ම්‍ලේච්ඡත්වයේ ප්‍රතිඵලයක් එයට ඉස්ලාම් දහම හෝ ෂරියා නීතිය වගකිවයුතු නැත
Latheefසවුදියේ දී මරණ දඬුවමට ලක් වූ ශ්‍රී ලාංකේය දියණිය රිසානා ගැන කඳුළක් නොහෙළුවෙක් නැත. මේ සිදුවීමත් සමග ඉස්ලාම් දහම සහ ෂරියා නීතියට විරෝධය පාන රැල්ලක් සමාජය තුළ ප්‍රබලව නැගීී එන බව පෙනේ. කෙසේ වුවද, රිසානාට සිදු වූ අසාධාරණයට වගකිවයුත්තේ සවුදි අරාබියටම ආවේණික වූ ම්‍ලේච්ඡ නීති සමුදායක් මිස, ඉස්ලාම් දහම හෝ ෂරියා නීතිය නොවන බව පවසන්නෝ ද සිටිති. සවුදි අරාබිය කේන්ද්‍ර කරගෙන බොහෝ කලක් කටයුතු කර ඇති ‍‍‍ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු සහ ‍ලේඛකයෙකු වන ලතීෆ් ෆාරුක් විසින් මේ පිළිබඳව ලියන ලද Execuling Rizna Nafeek is Sheer Sandi Barbarism Absolutely Nothing to do with Islam and Shariah ලිපිය ඇසුරෙන් මෙම ලිපිය සකස් වේ. ඔහු ගල්ෆ් නිවුස් ප්‍රවෘත්ති ආයතනයේ හිටපු කර්තෘ ද වේ.
ෆාරුක් පවසන පරිදි වත්මන් සවුදි අරාබි රජය, ඇමෙරිකාව සහ ඉස්ලාම් දහමට එරෙහි සෙසු යුරෝපීය බලවේග සමග එක්ව මුස්ලිම් රටවලට එරෙහිව ක්‍රියා කරමින් සිටී. සවුදිය යනු ඉස්ලාම් දහම උපන් රට සේ සැලකුණත්, වර්තමානයේ එහි පාලනය මෙහෙයවන දරුණු, ඒකාධිපතිවාදී ද්‍රෝහී පවු‍ලේ පවතින අතිශය දූෂිත සහ පිරිහුණු තත්ත්වය නිසා ඔවුන්ට ඉස්ලාම් දහම හෝ ෂරියා නීතිය ගැන කතා කිරීමට අයිතියක් නැතැයි ෆාරුක් පවසයි. එම පවුල විසින් සවුදි අරාබිය සලකනු ලබන්නේ සිය පවු‍ලේ දේපළක් ලෙස බවට ද ඔහු චෝදනා කරයි.
රිසානාට සිදු වූ අසාධාරණයට වගකිව යුත්තේ ෂරියා නීතිය නොවන බව පෙන්වීමට ෆාරුක් කරුණු කිහිපයක් ගෙන හැර දක්වයි. 2005 වසරේ මැයි 22 වනදා දහවල් රිසානා තමන් සේවය කරමින් සිටි නිවසේ සිටි සිව් මසැති බිලිඳාට බෝතලයෙන් කිරි ‍පොවමින් සිටියාය. කෙසේ වුවද ‍පොවන ලද කිරි, දරුවාට නොපෙවුණු බවත් ඔහුගේ මුවෙන් සහ නාසයෙන් කිරි පිටතට ගලා ආ බවත් රිසානා කියා තිබුණි. මේ අවස්ථාවේ බිලිඳාගේ මව නිවසේ නොසිටි අතර, පසුව ඇය පැමිණ දරුවා මියගොස් ඇති බව දැනගැනීමෙන් පසුව රිසානාට පහර දී ඇයව ‍පොලීසියට අල්ලා දීමට කටයුතු කර තිබුණි.
මෙම මිය ගිය බිලිඳාට කිරි ‍පොවනු ලැබුවේ බෝතලයෙනි.  ඒ අනුව, දරුවෙකුට වයස අවුරුදු දෙකක් වන තෙක් මවු කිරි ලබා දිය යුතු බවට ශුද්ධ වූ කුරානයේ සඳහන් වන ඉස්ලාම් නීතිය ද අදාළ බිලිඳාගේ මව විසින් උල්ලංඝනය කර ඇති බව ෆාරුක් පවසයි.
‍පොලිස් ස්ථානයේ දී රිසානාට පටියකින් ගසමින් ඇය බිලිඳා මැරූ බවට ප්‍රකාශයක් ලබා ගැනීමට ‍පොලිස් නිලධාරීන් උත්සාහ කර තිබේ. මෙසේ බලහත්කාරයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම ෂරියා නීතියට පටහැනි බව ෆාරුක් පවසයි. කෙසේ වුවද, තමන්ට එල්ල කරන තර්ජන සහ ප්‍රහාර හමුවේ බියපත් වූ රිසානා තමන් වෙත ඉදිරිපත් කළ ‍ලේඛනයට අත්සන් තබා ඇත.
මියගිය බිලිඳා සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් ද නොපැවැත්වුණු බව පැවසේ. මෙම කරුණ රිසානා වෙනුවෙන් පෙනී සිටි සවුදි නීතිඥ සමාගම විසින් ඉස්මතු කරන ලද්දේදැයි වාර්තා නොවන බව ෆාරුක් කියයි.
කෙසේ වුවද, ‍පොලිසිය විසින් තමන්ගෙන් බලහත්කාරයෙන් පා‍පොච්චාර-ණයක් ලබා ගත් බව පසුව අධිකරණයේ දී පැවසූ රිසානා තමන්ට එරෙහි චෝදනා ද ප්‍රතික්ෂේප කළාය. රිසානාගේ පා‍පොච්චා-රණය සටහන් කරගත් තැනැත්තා නිසි සුදුසුකම් ලැබූ පරිවර්තකයෙකු ද නොවන බව පැවසේ.
කෙසේ වුවද, ‍පොලිසිය විසින් බලහත්කාරයෙන් ලබා ගන්නා ලද පා‍පොච්චාරණය මත පදනම් වෙමින් මහාධිකරණය විසින් 2007 දී රිසානාට ගෙල සිඳ මරණ දඬුවම ලබාදෙන ලෙස නියම කෙරුණි. මහාධිකරණ නඩු තීන්දුව ෂරියා නීතිය උල්ලංඝනය කිරීමක් වුව ද ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ද 2010 දී එම තීන්දුව නියම කරන ලදී. බිලිඳාගේ මරණයට හේතුව විද්‍යානුකූලව නිවැරදිව කිව හැකි වන්නේ පශ්චාත් මරණ පරීක්ෂණයකිනි. එහෙත් මහාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු දෙකම දී ඇත්තේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා පරීක්ෂා කිරීමකින් තොරවය. මෙම තත්ත්වය යටතේ, විශාල වශයෙන් අඩුපාඩු පවතින නීති ක්‍රමයක් සහිත සවුදි අරාබියට ෂරියා නීති යටතේ රිසානාගේ නඩුව ඇසීමට හැකියාවක් ඇත්දැයි ෆාරුක් ප්‍රශ්න කරයි.
පළමු ලෝක යුද්ධයෙන් පසුව බ්‍රිතාන්‍යයේ යුදෙව්වන් සහ ක්‍රිස්තියානි නිකායික යුදෙව්වන් සමග ඇමෙරිකානුවන් ද එක්ව රියාද්හි ගෝත්‍ර නායකයෙකු වූ අබ්දුල් අසීස් ඉබන් අල් සවුද් යන අය බලයට පත් කළ බවත්, වත්මන් සවුදි අරාබිය නිර්මාණය වූයේ එලෙස බවත් ෆාරුක් පවසයි. අබ්දුල් අසීස්ට එම තනතුර හිමි වී ඇත්තේ ඔහු ද්‍රෝහියෙකු ලෙස ඉස්ලාමීය ඉතිහාසයේ විශාලතම මුස්ලිම් අධිරාජ්‍යයක් වූ තුර්කියේ ඔටෝමන් අධිරාජ්‍යය බිඳ දැමීමට සහය දැක්වීමට ත්‍යාගයක් වශයෙනි. එදා සිට සවුදිය පාලනය වන්නේ මෙම ගෝත්‍රයට අදාළ ක්‍රමයට බවත්, ඊට ඉස්ලාම් ආගමේ සම්බන්ධයක් නොමැති බවත් ෆාරුක් කියයි.
මෙම ගෝත්‍රික පවුල බලයට පත් කිරීමට අදිසි හස්තයන් ලෙස ක්‍රියා කළ ඉස්ලාමීය නොවන ඇමෙරිකානු සහ යුරෝපීයයන් විසින්  ගෙවුණු කාලය තුළ මෙම ගෝත්‍රික පවුල රජ පවුලක් බවට පරිවර්තනය කර ඇත. එසේ නොමැතිව ඉස්ලාම් දහම තුළ රාජකීය පවුලක් යනුවෙන් හැඳින්වෙන දෙයක් නොමැති බව ෆාරුක්ගේ අදහසයි. ඒ අනුව, සවුදියේ රාජ්‍ය පාලනය, යුක්තිය පසිඳලීම, ආර්ථික ව්‍යුහය, ධනය බෙදී යාම මෙන්ම සමස්ත සමාජ ක්‍රමය සහ ජීවන රටාවම සැකසී ඇත්තේ මෙම ගෝත්‍රික ක්‍රමයට මිස ඉස්ලාම් ධර්මයට අනුව නොවේ.
පවතින ක්‍රමය මත ධනය, බලය, තත්ත්වය ආදී සියල්ලම සවුදිය පාලනය කරන පවු‍ලේ උරුමයක් ලෙස පවතින බවත්, ඔවුන් සිටින්නේ නීතියට ද ඉහළින් බවත් ෆාරුක් කියයි. ඔහුට අනුව මෙම තත්ත්වය ද ඉස්ලාම් දහම උල්ලංඝනය කිරීමකි.
සවුදිය පාලනය කරන මෙම පවු‍ලේ දූෂණ, ඉස්ලාම් ධර්මයට නොගැළපෙන ලැජ්ජා නැති ජීවන රටාව සහ කාන්තාවන් ඇතුළු සියලු දෙනාට ඉස්ලාම් ධර්මය විසින් ලබා දී ඇති නිදහස යටපත් කිරීම සැවොම දන්නා බව ෆාරුක් කියයි. යුදෙව්වන් විසින් පාලනය කරමින් ඇමෙරිකානුවන් විසින් මෙහෙයවනු ලබන මුස්ලිම්වරුන්ට සහ ඉස්ලාම් දහමට එරෙහි යුරෝපීය දුෂ්ට යුද්ධ ඇති කිරීමට ඔවුන් දායකත්වය සපයන බව ඔහුගේ අදහසයි. එසේම ඉස්ලාම් දහමට එරෙහිව යුදෙව්වන් විසින් ගෙන යනු ලබන යුද්ධවලට මුදල් ආධාර ලබා දීම මෙන්ම, දෙවියන්ගේ පිහිටෙන් ලැබෙන ධනය බටහිර රටවල තැන්පත් කිරීම, ලොව පුරා සිටින මුස්ලිම්වරුන්ට උපකාර කිරීමට අ‍පොහොසත් වීම, මුස්ලිම්වරුන් අතර ගැටුම් ඇති කිරීම වැනි කටයුතු ගණනාවක් නිසා මෙම පවුල මුස්ලිම්වරුන්ට සහ ඉස්ලාම් ආගමට ලැජ්ජා කරන පවුලක් බවට පත්ව ඇති බව ෆාරුක් සඳහන් කරයි.
අත්තනෝමතිකව අත්අඩංගුවට ගැනීම්, රඳවා තබා ගැනීම් සහ වධ හිංසා පැමිණවීම් සවුදිය තුළ ජයටම සිදුවන බවත්, ඇමෙරිකාවේ, යුරෝපයේ සහ ඊශ්‍රායලයේ සම්පූර්ණ සහය මත සවුදි පාලකයන් විසින් ෂරියා නීති අයුතු ලෙස භාවිත කරන බවත් ෆාරුක් සඳහන් කරයි. අමිල ඉස්ලාමීය උරුමයන් ඔවුන් විසින් විනාශ කරනු ලැබ ඇති අතර, ඓතිහාසික උරුමයක් ඇති ස්ථාන 300ක් පමණ මේ වන විට විනාශ කර ඇති බවට ද වාර්තා ඇතැයි ෆාරුක් කියයි. දෙවියන්ගේ පිහිටෙන් ලැබෙන මුදල් බිලියන ගණනින් ඔවුන් යොදවන්නේ මුස්ලිම් ප්‍රජාවන් දෙකඩ කිරීමට සහ බටහිර රටවල් ‍පොහොසත් කරමින් ඔවුන්ගෙන් ආයුධ මිල දී ගැනීමට බව ද ඔහුගේ අදහසයි.
ඔහු පවසන පරිදි රිසානා ගෘහ සේවිකාවක ලෙස රැකියාවට බඳවා ගැනීම පවා ෂරියා නීති උල්ලංඝනය කිරීමකි. මන්ද ෂරියා නීතියෙන් අවසර ඇත්තේ කාන්තාවන් කිසියම් කොන්දේසි මාලාවක් යටතේ පමණක් රැකියාවේ යෙදවිය හැකි බවටයි. සවුදි බලධාරීන් මෙන්ම රිසානාගේ අනුග්‍රාහකයා විසින් ද මෙම නීති කඩකර ඇත.
රිසානාට එරෙහි නඩු තීන්දුව පිළිබඳව ශ්‍රී ලාංකික ඉංජිනේරුවරයෙකු වන ඉස්මයිල් මරික්කාර් මහතා විසින් ජෙඩාහි පිහිටි ඉංග්‍රීසි පුවත්පතකට ලියූ ලිපියකට ෆාරුක් අවධානය යොමු කරයි. රිසානාට මරණ දඬුවම නියම කිරීම පිළිබඳව ඇසීමෙන් තමන් කම්පාවට සහ මුස්ලිම්වරයෙකු වශයෙන් ලැජ්ජාවට පත් වූ බව පැවසූ ඔහු මෙම අසාධාරණය නිවැරදි කිරීමට පියවර ගන්නා ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා තිබුණි. දරුවන්ට වයස අවුරුදු දෙකක් සම්පූර්ණ වන තුරු මවුකිරි ලබා දිය යුතුයැයි ශුද්ධ වූ කුරානයේ දැක්වෙන නීතිය උපුටා දක්වමින් ඔහු පවසා තිබුණේ මියගිය බිලිඳාගේ මව ඒ අනුව කටයුතු කර නොමැති බවයි.
විදේශයකින් පැමිණි නූගත් යොවුන් මෙහෙකාරියකට ළදරුවෙකු බලා ගැනීමට දීම පිළිබඳව ද මෙම ඉංජිනේරුවරයා බිලිඳාගේ මවට දොස් පවරා තිබේ. එසේම, තමන් කළ වරදට රිසානා සමාව නොගත් බවට එල්ල වූ චෝදනාව සම්බන්ධයෙන් ඔහුගේ තර්කය වී තිබුණේ ඇය සමාව නොගත්තේ වරදක් නොකළ නිසා බවයි. බලහත්කාරයෙන් පා‍පොච්චාරණ ලබාගත ගැනීම ද ෂරියා නීති යටතේ කළ නොහැකි බව ඔහු අවධාරණය කර ඇත.
මරණ දඬුවම වෙනුවට දඩ මුදලක් ගෙවීම ද ෂරියා නීතියේ පවතින අතර, සමාව දීම හොඳ බව අල්ලා දෙවියන් පවසා ඇත. එසේම මාස හතරක් වැනි වයසකදී මේ අයුරින් දරුවෙකු මිය යාම අල්ලා දෙවියන්ගේ කැමැත්තට අනුව සිදුවන දෙයක් බව ඉස්ලාම් ධර්මයේ මූලික පදනම බව ද ඔහුගේ අදහසයි. බිලිඳාගේ දෙමාපියන් දඩ මුදල ද ප්‍රතික්ෂේප කරමින් රිසානාගෙන් පළිගැනීමට උත්සාහ කිරීම ඔහු දකින්නේ අල්ලා දෙවියන් විසින් දේශනා කර ඇති සමාව දීමේ පුරුද්දට එරෙහිව යාමක් ලෙසයි.
වරදක් ඔප්පු වන තෙක් සැකකරුවෙකු නිර්දෝෂී අයෙකු ලෙස සැලකිය යුතු බවට අද පිළිගනු ලබන නීතිය අල්ලා දෙවියන්ද දේශනා කර ඇති බව ඔහුගේ අදහසයි. සැකයක් ඇති විට අදාළ දඬුවම ක්‍රියාත්මක නොකරන්නැයි අල්ලා දෙවියන්ගේ පණිවුඩකරුවා පැහැදිලිව පවසා ඇත්තේලු.
රිසානා වැරදිකාරියක ලෙස තීන්දු කිරීම ගර්හාවක් බව කියමින් ඇය ඉක්මනින් නිදහස් කර ඇගෙන් සමාව ගත යුතු බවට ඇමෙරිකා එක්සත් ජනපදයේ වෛද්‍යවරයෙකු වූ එෆ්.ඒ. මුනාස් කළ ඉල්ලීම පිළිබඳව ද ෆාරුක් මෙහිදී සිහිපත් කරයි. මියගිය බිලිඳා මරා දැමීමට රිසානාට කිසිදු අවශ්‍යතාවක් නොතිබුණු බව පැහැදිලි බව පවසන ඔහු, දරුවා කිරි හිරවීමෙන් මිය යන්නට ඇතැයි සිය මතය පළ කර තිබූ ඔහු පශ්චාත් මරණ පරීක්ෂණයක් නො-පැවැත්වීම පිළිබඳව ද අප්‍රසාදය පළ කර තිබූ අතර, එවැනි අවස්ථාවක සැකයේ වාසිය විත්තියට හිමි විය යුතු බව සඳහන් කර තිබුණි.
මෙම සිද්ධිය සිදුවන අවස්ථාව වන විට රිසානා ද වයෝ පූර්ණත්වයට පත් නොවූ දැරියකි. එසේම, නඩු විභාගයේ සාධාරණත්වය පිළිබඳවද මෙතරම් ගැටලු තිබිය දී රිසානාට මරණ දඬුවම ලබා දීම ඉතා සාහසික බව ජාත්‍යන්තර ක්ෂමා ආයතනය ද පවසා තිබුණි. බලහත්කාරයෙන් ලබාගත් පා‍පොච්චාරණයක් මත පදනම්ව දැරියකට මරණ දඬුවම ලබා දීමට සවුදියේ පවතින ෂරියා නීතියට වසර හයක් ගත වූයේ මන්ද යන්නත් ගැටලුකාරීය. වසර හතක් තිස්සේ විදෙස් රටක සිරමැදිරියක තනිව දුක් විඳි රිසානාගේ මානසිකත්වය කෙබඳු වන්නට ඇත්දැයි අමුතුවෙන් කිව යුතු නැත. දැරියක එවැනි තත්ත්වයකට පත් කිරීම ඉස්ලාම් දහමට අනුව අනුමත කළ හැකිදැයි ෆාරුක් ප්‍රශ්න කරයි. මෙම ක්‍රියාව ඉස්ලාම් දහම සහ ෂරියා නීතියට කළ අවමානයක් බව ඔහුගේ අදහසයි. මෙම තත්ත්වය යටතේ සවුදිය හෙවත් ශුද්ධ වූ ඉස්ලාමීය දේශය බැටලු හම් ‍පොරවාගෙන සිටින වෘකයන්ගෙන් බේරා ගැනීමට ලොව පුරා සිටින මුස්ලිම්වරුන් එක්විය යුතුයැයි ෆාරුක් පවසයි.

No comments:

Post a Comment

Hey Guys....
Come and Join with me.........