Sunday, September 23, 2012

සුපිරි අටේ සටන මෙන්න!

DJ Avantha Creations



විස්‌සයි විස්‌ස සිව්වැනි ලෝක ක්‍රිකට්‌ මහා සංග්‍රාමයේ උණුසුම දැන් තීව්‍ර වී තිබේ. පළමු අදියරෙන් සුපිරි අට වටයට පැමිණීමට සත්කාරක ශ්‍රී ලංකාව සමත් වීම මත යළිත් ලෝක ශූරතාවක්‌ ශ්‍රී ලංකාව දිනනු ඇතැයි සුවහසක්‌ වූ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ලෝලීන්ගේ බලාපොරොත්තුවයි.

1996 වසරේදී විල්ස්‌ ලෝක කුසලාන දිනා ගැනීමෙන් පසු ශ්‍රී ලංකාව යළිත් ලෝක ක්‍රිකට්‌ කිරුළ දිනා ගැනීම සඳහා අවස්‌ථා කිහිපයකදීම අතපොවන මායිමටම පැමිණියද එම තීරණාත්මක අවස්‌ථාවන්වලදී වාසනාව ශ්‍රී ලංකාවට අහිමි විය. 2003 වසරේදී දකුණු අප්‍රිකාවේ පැවැති පන්දුවාර 50 ලෝක කුසලාන තරගාවලියේදී අවසන් පූර්ව වටයෙන් ඉවතට විසිවූ ශ්‍රී ලංකාව 2007 වසරේ බටහිර ඉන්දීය කොදෙව්හි පැවැති ලෝක කුසලාන තරගාවලියේදී අවසන් මහා සටනට පැමිණීමට සමත් විය. එම අවසථා දෙකෙහිදීම ශ්‍රී ලංකා ඉරණම තීන්දු කළ ප්‍රතිවාදියා වූයේ ඔස්‌ටේ්‍රලියානු කණ්‌ඩායමයි. යළිත් 2009 වසරේදී 20-20 ලෝක කුසලාන තරගාවලියේදී අවසන් මහා සටනේදී පාකිස්‌තානය හමුවේ ශ්‍රී ලංකාව අනුශූරයන් බවට පත්විය. අනතුරුව 2011 වසරේ යළිත් 20-20 මහා සංග්‍රාමයේ අවසන් පූර්ව තරගයට පැමිණි ශ්‍රී ලංකාව එම වසරේම පැවැති පන්දුවාර 50 ලෝක කුසලාන අවසන් මහා තරගයේදී ඉන්දියාව හමුවේ පරාජය විය. එබැවින් ලෝක ක්‍රිකට්‌ මහා සංග්‍රාමවල අවසන් සටනේ පරිණත කණ්‌ඩායම වන්නේද ශ්‍රී ලංකාවයි.

ක්‍රිකට්‌ ලෝක කුසලාන තරගාවලි ත්‍රිත්වයකදී අවසන් සටනේදී අනුශූරයන් වූ ශ්‍රී ලංකාව මෙවර එම කඩඉම පණිනු ඇතැයි බලාපොරොත්තු තබා ගත හැකිවන්නේ සිම්බාබ්වේ සමග පැවැති තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දැක්‌වු දක්‍ෂතාව සහ සුපිරි අට වටයේදී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදියන් පිළිබඳව අවධානය යොමු කිරීමේදීය. එහිදී සත්කාරකත්වයේ වාසියද ශ්‍රී ලංකාව සතුවීම ඒ සඳහා තවත් පිටිවහලක්‌ වේ.

'මම ලෝක කුසලාන තරගාවලි දෙකක අවසන් මහා සටන ක්‍රීඩා කර තිබෙනවා. ඒත් කුසලාන දිනා ගන්න බැරි වුණා. නමුත් මම තදින්ම විශ්වාස කරනවා මෙවර අපිට කුසලාන දිනන්න පුලුවන් කියලා. ඒ සඳහා මම උපරිමයෙන් කණ්‌ඩායමට දායකත්වය ලබාදෙනවා' යනුවෙන් සිම්බාබ්වේට එරෙහිව ලෝක වාර්තාගත පන්දු යෑවීමක යෙදුණු අජන්ත මෙන්ඩිස්‌ පැවසීය. 20-20 තරගයකදී ලකුණු 8 කට කඩුලු 6 ක්‌ දවා ගැනීම යනු ආශ්චර්යකි. එවැනි වික්‍රමයක්‌ කිරීමට හැකියාව ඇති පන්දු යවන්නන් සිටියදී දේශීය තණතීරුවල ශ්‍රී ලංකාවට ප්‍රතිවාදියාව මෙල්ල කරමින් කුසලාන දිනා ගැනීමට මෙවර වැඩි අවස්‌ථාවක්‌ නිර්මාණය වී තිබේ.

මෙතෙක්‌ පැවැති 20-20 ලෝක කුසලාන ත්‍රිත්වයේදීම සත්කාරකයන්ට කුසලාන දිනා ගැනීමට නොහැකි වුවද එය මෙවර වෙනස්‌ කිරීමට හැකියාව ඇති බව ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන පවසයි. 'සත්කාරකත්වය දැරූ කිසිදු රටකට පසුගිය 20-20 ලෝක කුසලාන දිනා ගැනීමට නොහැකි වුණා. මෙවර අපිට එය වෙනස්‌ කරන්න පුලුවන් වෙයි. අපි සතුව හොඳ සංයුතියක්‌ ඉන්නවා.' යනුවෙන් මහේලද සිය ජයග්‍රාහී මානසිකත්වය මාධ්‍යවේදීන් හමුවේ පසුගියදා පැවසීය.

ජයග්‍රහණයට අවශ්‍ය මානසික සහ කායික ශක්‌තිය ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තුළ දැනටමත් ස්‌ථාපිත වී හමාරය. ඒ සඳහා සුපිරි තුරුම්පුවලින් ශක්‌තිමත්ව ඇති ශ්‍රී ලංකාවට සුපිරි අට වටයේදී හමුවන්නේ ආසියාවෙන් පිට කණ්‌ඩායම් බැවින් සුපිරි අට වටයෙන් අවසන් පුර්ව තරගයට පැමිණීම සඳහා ශ්‍රී ලංකාවට වැඩි අවස්‌ථාවක්‌ මේ වන විට නිර්මාණය වී තිබේ.

ලබන 27 වැනිදා ආරම්භ වන සුපිරි අට වටයේ පළමු සටනට ශ්‍රී ලංකාව සහභාගි වේ. එහිදී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදියා වන්නේ නවසීලන්ත කණ්‌ඩායමයි. යම් හෙයකින් නවසීලන්තය සුපිරි අට වටයට පැමිණීමට නොහැකි වුවහොත් බංග්ලාදේශය සමග ශ්‍රී ලංකාව සුපිරි අට වටයේ පළමු තරගයට සහභාගි වනු ඇත. එම වටයේදී ශ්‍රී ලංකාව සහභාගි වන දෙවැනි තරගය බටහිර ඉන්දීය කොදෙව්වන් සමගින් පැවැත්වීමට නියමිතය. යම් හෙයකින් කොදෙව්වන් සුපිරි අට වටයෙන් ඉවතට විසි වුවහොත් පමණක්‌ අයර්ලන්තය සමග ශ්‍රී ලංකාව එම සටනට සහභාගි වනු ඇත. සුපිරි අට වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන තෙවැනි තරගය එංගලන්තය සමගින් පැවැත්වීමට නියමිතය. එංගලන්තය සුපිරි අට වටයෙන් ඉවතට විසිවුවහොත් පමණක්‌ ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදියා වන්නේ ඇµaගනිස්‌ථානයයි. ඒ අනුව සුපිරි අට වටයෙන් අවසන් පූර්ව සටනට පිවිසීමට ශ්‍රී ලංකාවට වැඩි අවස්‌ථාවක්‌ නිර්මාණය වී ඇත. සුපිරි අට වටයේදී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදියා වීමට නියමිත ඇති කණ්‌ඩායම් අතරින් එංගලන්තය හැරුණු විට සෙසු සියලු කණ්‌ඩායම් වත්මන් 20-20 ශ්‍රේණිත කිරීම්වල ශ්‍රී ලංකාවට වඩා පසුපසින් සිටී.

ශ්‍රී ලංකාව අවසන් පූර්ව තරගයට පැමිණියොත් එහිදී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදියා කවුරුන්ද යන්න නිශ්චිතවම සටහන් කිරීමට නොහැකි වුවද ඉන්දියාව, ඔස්‌ටේ්‍රලියාව, දකුණු අප්‍රිකාව හෝ පාකිස්‌තාන කණ්‌ඩායම් අතරින් කවුරුන් හෝ ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදියා වීමට වැඩි අවස්‌ථාවක්‌ පවතී. යම් හෙයකින් අයර්ලන්තය, ඇµaගනිස්‌ථානය සහ බංග්ලාදේශය පෙරළිකාර ජයග්‍රහණයක්‌ වාර්තා කරමින් අවසන් පුර්ව වටයට පැමිණියහොත් තත්ත්වය වෙනස්‌ වනු ඇත.

'20-20 තරගවලදී ඕනෑම කණ්‌ඩායමකට ජයග්‍රහණය ලබා ගන්න අවස්‌ථාව තියෙනවා. කොතරම් හොඳ කණ්‌ඩායමක්‌ වුවත් දුර්වල කණ්‌ඩායමකට පරදින්න පුලුවන්. එම නිසා හැම තරගයක්‌ම තීරණාත්මකයි.' යනුවෙන් දකුණු අප්‍රිකානු නායකයාද තරගාවලිය පිළිබඳව අදහස්‌ දක්‌වමින් කියා සිටියේය. 20-20 තරග අවදානම් බව සියලු කණ්‌ඩායම් නායකයන් හිස මත දරා ගනිමින් තරග වදින බව සැබෑවකි. එහිදී අත්දැකීම් බහුලකම සහ තණතීරු පිළිබඳ අවබෝධය ජයග්‍රහණයට අමතර වාසියක්‌ වනු ඇත.

No comments:

Post a Comment

Hey Guys....
Come and Join with me.........