Tuesday, January 1, 2013

ඔබේ හදවතේ වෙන කෙනෙකුට ඉඩක් නැති බව ඔහුට/ඇයට සහතිකද?

DJ Avantha Creations

r9-1
ප්‍රංශයේ තිබෙන අහස උසට නැඟුණු සුප්‍රසිද්ධ අයිෆල් කුලුන ගැන ඔබ අහල තියනවා ඇති නේද? ඒ තරම් සුවිශාල ඒ කුලුන රඳා තිබෙන්නෙ ඉතා ශක්තිමත් දැවැන්ත කොන් හතරක් මත. ඒ කොන් හතර (සිවු කොන් අත්තිවාරම) එක වගේ සමබරව ශක්තිමත්ව පිහිටා තිබෙන හින්දා තමයි ඒ තරම් විශාල බරක් නොසැලී තිබෙන්නේ.
විවාහ ජීවිතය  කියන සුවිශාල වගකීමත් අන්න ඒ වගේ ප්‍රබල කරුණු හතරක් මත පිහිටා තිබුණොත් විතරයි සාර්ථක ප්‍රීතිමත් යුග දිවියක් බලා‍පොරොත්තු විය හැක්කේ කියලා කිවුවොත් වැරදි නෑ මං හිතන්නේ.
ඒ ප්‍රබල කරුණු හතර තමයි දෙන්න අතර
:
1. අනේ‍යාන්‍ය අවබෝධය
2. අනේ‍යාන්‍ය විශ්වාසය
3. අනේ‍යාන්‍ය අවංකකම
4. අනේ‍යාන්‍ය සන්නිවේදනය

තවත් කරුණු තියනවා තමයි. ඒත් ඔය කාරණා හතර තමයි විශේෂයෙන්ම වැදගත් වෙන්නේ. බලන්න අනේ‍යාන්‍ය කියන වචනය ඉතා වැදගත්.
එක්කෙනෙක් විතරක් ඒ කරුණු හතර අවබෝධ කරගත්තට වැඩක් නෑ. දෙන්නම හොඳට අවබෝධ කරගත යුතුයි ඔය කරුණු හතර.
අනේ‍යාන්‍ය අවබෝධය තමයි මුලටම එන්නෙ. කරන දේ ගැන අවබෝධයක් නැත්නම් කිසිම දෙයක් සාර්ථකව කරන්න බැහැ. ඒ වගේ සැබෑ ආදරයක්, ශක්තිමත් විවාහ දිවියක් ගොඩනැගෙන්න නම් අනිවාර්යෙන්ම දෙන්නට දෙන්නා එකිනෙකාව ඉතා හොඳින් අවබෝධ කරගන තියෙන්න ඕන.
මෑතකදී අපේ එක ජනප්‍රිය නළුවෙක් පුවත්පත් සාකච්ඡාවකදී හරිම ලස්සන වචන ටිකකින් මේ ‘අවබෝධය’ ගැන කියලා තිබුණා. හරිම ප්‍රබල පණිවුඩයක් ඒ වචන ටිකේ තියනවා. මම ඔහුගේම වචන උපුටා දක්වන්නම්කො....
ඔහුගෙ බිරිඳ ගැන අහපුවම තමයි මෙහෙම කියල තියෙන්නේ.
“(හිනැහී) මගේ ප්‍රථම පෙම්වතිය දැන් ඉන්නේ විදේශයෙ. ඇය හදිසියෙම ලංකාවට ආවා. ඒ ආරංචිය මට කිවුවේ මගේ බිරිඳ......... අන්න ඒ වගේ බිරිඳක් මට ඉන්නේ........... මේ පුවත්පත් ලිපියේ සඳහන් නොවූ මගේ තොරතුරු ගොඩක් ඇය දන්නව. ඒ නිසා ඇය මං ගැන මොනව අහන්න ලැබුණත් කළබල වෙන්නෙ නෑ. ඇය හරිම බුද්ධිමත් කෙනෙක්........ඇය මගේ ජීවිතේ ඉන්න තැනට ළංවෙන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ නැති බව ඇය දන්නවා.........”
මේ ඒ නළුවගෙ පෞද්ගලික ජීවිතය ගැන කතා කිරීමක් නෙමේ. ඒත් ඒ වචන ටිකේ අති විශාල බලයක් ගැබ්වෙලා තියනව කියල මට හිතුණා. සාර්ථක ප්‍රීතිමත් ජීවිතයකට අවශ්‍ය වෙන්නේ ඒ කියල තිබුණා වගේ ඉතා ශක්තිමත් අනේ‍යාන්‍ය අවබෝධයක්.
සැමියෙක් බිරිඳක් අතර තිබිය යුතු ගැඹුරු අනේ‍යාන්‍ය අවබෝධය වගේම අනේ‍යාන්‍ය විශ්වාසය හරිම පැහැදිලිව ඒ වැකි කීපයෙන් ප්‍රබලව කියාපානවා.
විශේෂයෙන් අන්තිම වාක්‍ය බලන්න. “ඇය මගේ ජීවිතේ ඉන්න තැනට ළංවෙන්න පුළුවන් කෙනෙක් මේ ලෝකෙ නැති බව ඇය දන්නවා......”
ඇය ඉන්න තැනට ළංවෙන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ නැති බව මම දන්නවා කියලා නෙමේ කියන්නේ. මගෙ ජීවිතේට එයා වගේ ළංවෙන්න කාටවත් බැරි බව ඇය දන්නවා කියලයි කියන්නේ.
ඒ කියන්නේ තමන් ගැනම සැමියෙක් කියනවට වඩා  තමන්ගේ බිරිඳගෙ ස්ථාවරය ගැන පැහැදිලි අවබෝධයක් විශ්වාසයක් ඇතිව ඒ විදිහට කතා කරන්න පුළුවන් නං කොච්චර දෙයක්ද නේද?
ඒක සරල භාෂාවෙන් කියනව නම් “මම එයාගෙ තැන වෙන කාටවත් දෙන්නේ නැති බව..... දෙන්න බැරි බව මට ෂුවර්.......ඒත් ඊටත් වඩා ඒක එයාට ෂුවර්....”
බලන්න ඒ තරම් “ෂුවර් එකක් ඇතුව“, ඒ  තරම් විශ්වාසයක් ඇතුව ඉන්න පුළුවන් නං ඒක කොච්චර දෙයක්ද? ඒක නේද විවාහයක පදනම වෙන්න ඕන?
අද බොහෝ විවාහ ජීවිත කඩාකප්පල් වෙන්න ප්‍රධානම හේතුවක් තමයි විශ්වාසයක් නැතිකම. සැමියා ගැන බිරිඳ ගැන සැකයි. එහෙම සැකෙන් ඉන්නැද්දි සතුටින් ඉන්න බෑ. හිත කොයි වේලාවෙත් චංචලයි අසහනයෙන් වේදනාවෙන් පිරිලා. සැකය විවාහ දිවියට ‍පොළොං විෂටත් වඩා දරුණු  විෂක්.
හැබැයි ඒ විශ්වාසය ගොඩ නැගෙන්න අවංකකම අවශ්‍යමයි. දෙන්නම එකිනෙකාට අවංක වෙන්න ඕන. ඒක දෙන්නටම තහවුරු වෙන්න ඕන. එක්කෙනෙක් අවංක වෙද්දී අනිත් කෙනා බොරු කරනවනං ඒක අනිවාර්්‍යයයෙන්ම කෙළවර වෙන්නේ ගින්දරකින්. දෙන්නට දෙන්නා අවංක විය යුතුයි විතරක් නෙමේ ඒ අවංකකම රැකගත යුතුයි.
තමන්ගේ බිරිඳට සැමියට බොරු කරන්න වංචා කරන්න අද සමාජයේ අවස්ථා එමටයි. ඒත් අවංකව ආදරේ කරන කෙනෙක්ට කවදාවත් හිතක් එන්නේ නෑ තමන්ගෙ බිරිඳව / සැමියාව රවට්ටන්න.
අවංකවම ආදරේ කරන කෙනෙක්ට කවදාවත් බෑ රැවටීම් කරන්න. ඒ තරම් ප්‍රබල ආදරයක් නොදැනුවත්වම ගොඩ නැගෙන්නේ එක දවසකින් නෙමේ. ක්‍රම ක්‍රමයෙන්. එහෙම ගොඩනැගෙන්නේ අවංකකම දවසින් දවස තහවුරුවෙලා අනේ‍යාන්‍ය විශ්වාසයක් තහවුරු වීමෙන්.
ඒකට හොඳ සන්නිවේදනයක් අවශ්‍යමයි. තමන්ගේ හැම ආශාවක්ම, හැඟීමක්ම, සිතුවිල්ලක්ම, බලා‍පොරොත්තුවක්ම, සැලැස්මක්ම දෙන්නට දෙන්නා අනේ‍යාන්‍ය සන්නිවේදනය කරගත යුතුයි. එතකොට එකිනෙකාට හංගන්න දෙයක් නෑ. බොරු කියන්න බොරු කරන්න අවශ්‍යතාවක් එන්නේ නෑ.
ඔබ වෙන කිසිම කෙනෙකුට ඔබේ ජීවිතේට රිංගන්න ඉඩ දෙන්නේ නැති බව ඔබට සහතික ඇති. ඒත් ඔබේ බිරිඳට/ සැමියට ඒ ගැන සහතික ලෙස කියන්න පුළුවන් කියල ඔබට හිතෙනවාද? ඒ තරමටම ඔබ විශ්වාසවන්ත සැමියෙක්/ බිරිඳක් බව ඇය/ඔහු හිතනව නම් ඔබ මොනතරම් වාසනාවන්ත විවාහකයෙක්ද?
අන්න ඒ ගැඹුරු, ප්‍රබල, වට්ටන්න බැරි, බිඳින්න බැරි ශක්තිමත් විශ්වාසය ඔබේ ආදර ජීවිතය තුළ ගොඩනගාගන්න පුළුවන් නම් අයිෆල් කුලුනටත් වඩා ඔබේ යුග දිවිය ශක්තිමත් ආදරණීය ප්‍රීතිමත් අත්දැකීමක්ම වෙනවා සහතිකයි

No comments:

Post a Comment

Hey Guys....
Come and Join with me.........