Tuesday, January 1, 2013

ක්‍රිකට් ලෝක ශූරයකුගේ නම්බුකාර සමුගැනීම රිකී ‍පොන්ටින් ටෙස්ට් පිටියෙනුත් සමුගනියි

DJ Avantha Creations

su06ඕස්ට්‍රේලියාවේ තස්මේනියා ප්‍රාන්තයෙන් ඕස්ට්‍රේලියානු ජාතික පිලට දායාද කළ සුපිරි ක්‍රිකට් තරු දෙකකි. ඉන් එක් තරුවක් 80 දශකයේ අග භාගය පසුවනතෙක් ක්‍රීඩා කළ දකුණත් පිතිකරු ඩේවිඩ් බූන්ය. අනෙක් ක්‍රීඩකයා නොබෝදා අවසන්වූ දකුණු අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැති තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් සිය ක්‍රිකට් දිවිය හමාර කළ රිකී ‍පොන්ටින්ය.
ඕස්ට්‍රේලියාවේ සංවර්ධිත ප්‍රදේශ අතරට ගැනෙන සහ සියලු පහසුකම්වලින් අනූන ප්‍රසිද්ධ ක්‍රීඩාංගණ වූ පර්ත් නගරයේ වැකා ක්‍රීඩාංගණය, මෙල්බෝර්න් නගරයේ එම්.සී.ජී. ක්‍රීඩාංගණය, බ්‍රිස්බේන් නගරයේ ගැබා ක්‍රීඩාංගණයටත්, සිඩ්නි නගරයේ එස්.සී.ජී. ක්‍රීඩාංගණයටත් වඩා අඩු පහසුකම් සහිත (දිවා රාත්‍රී තරග පවා පැවැත්වීමට පහසුකම් නොමැති) තස්මේනියා ප්‍රාන්තයේ හෝබාර්ට් ක්‍රීඩාංගණය සිය ළමා කාලයේ ක්‍රිකට් නිජබිම කරගත් රිකී සිය 38 වන උපන් දිනය සැමරූ මෙම මස 19දාට කිට්ටුවන විට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ
ටෙස්ට් තරග 168කට සහභාගි වී ලකුණු 13,378කුත් එක්දින තරග 375කට සහභාගි වී ලකුණු 13,704කුත් ලබා ඉන්දියාවේ සචින් තෙන්දුල්කාර්ට පමණක් දවෛනි විය හැකි අසමසම වාර්තා තබා සිය සමුගැන්ම සටහන් කළේය.
හිරිමල් යෞවන වියේදීම සිය ජාතික කණ්ඩායමේ එක්දින හා ටෙස්ට් භෞතීස්ම ලැබූ රිකී සහභාගි වූ මංගල ටෙස්ට් තරගයේදීම ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ශතකයට ආසන්නයේ දැවී යනු දුටු ජාත්‍යන්තර විචාරකයෝ “මේ තමයි ඕස්ට්‍රේලියාවේ අනාගත නායකත්වය” යැයි පැවැසූහ. මේ වන විට තම රට වෙනුවෙන් පූර්ව අනාවැකි යථාර්ථයක් බවට පත්කළ රිකී දෙසැම්බර් 14දා සිය උපන් නිජ බිම වන හෝබාර්ට්හිදී ඇරඹෙන ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා පළමු ටෙස්ට් තරගය ආරම්භවීමට දින කිහිපයක් පමණක් ඉතිරිව තිබියදී නොබෝදා අවසන්වූ ද.අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාව අතර අවසන් ටෙස්ට් තරගයෙන් අවසන් ඉනිමේ ලකුණු 9යෙන් ක්‍රිකට් දිවියේ අවසානය සනිටුහන් කළේ දිගින් දිගටම අසාර්ථක පිතිකරුවකු ලෙස ජාතික කණ්ඩායමේ රැඳී සිටීමෙන් තම පිලට වන හානිය වටහා ගත් නිසාය.
එක්තරා කාල වකවානුවක ටෙස්ට් හා එක්දින වර්ගීකරණ ලැයිස්තුවේ මුල් පස් දෙනා අතරම වැජඹුණු රිකී ටෙස්ට් හා එක්දින තරගවල අංක 03 ස්ථානයේ ක්‍රීඩා කළ හොඳම ඕස්ට්‍රේලියානු පිතිකරුවා බවට පත්විය. මෙම දෙවර්ගයේ තරගවලට උචිත ආකාරයට කල්පනාකාරී හා විටෙක ප්‍රවේගකාරී රටාවකිනුත් ඉනිම් ගොඩ නැගූ රිකී මෙම අංක 03 ස්ථානයේම සිටි ප්‍රතිවාදී කණ්ඩායම්වල සමකාලීන පිතිකරුවන් වූ ජැක් කලීස් (ද.අප්‍රිකාව), බ්‍රයන් ලාරා (බ.ඉ.කොදෙව් දූපත්), රාහුල් ඩ්‍රාවිඩ් (ඉන්දියාව), ඉන්සමාම් උල් හක් (පකිස්තානය) හා කුමාර් සංගක්කාර (ශ්‍රී ලංකාව) වඩා පෙරමුණ ගත්තේය. නායකයකු වශයෙන්ද අළු බඳුන ටෙස්ට් තරගාවලි කිහිපයකදීම තම රටට කුසලානය ලබා දෙමින් හා එක්දින ජගත් ලෝක කුසලානය පිට පිට දෙවතාවක් (වර්ෂ 2003 හා වර්ෂ 2007) තම රටට ලබාදෙමින් ඕස්ට්‍රේලියාව හිනි පෙත්තේ රඳවන්නට ඔහුගේ නායකත්වය සමත් විය.
සිරුරින් කුඩා වුවද පිත්ත හැසිරවීමේදී ප්‍රතාපවත් බවක් මෙන්ම ඔහුටම ආවේණික වූ පහරවල් එල්ල කරමින් පන්දු රකින්නන් අතරින් පන්දුව ගලා යාමට සලස්වා ලකුණු රැස් කළ රිකීව චිරාත් කාලයක් ක්‍රීඩා ලෝලීන්ටනම් අමතක නොවනු ඇත. සිය සමකාලීන සගයන් වූ ග්ලෙන් මැග්‍රාත්, ජේසන් ගිලෙස්පි, ශේන් වෝන්, ස්ටුවර්ට් මැග්ගිල් වැනි ප්‍රවීණ පන්දු යවන්නන් සමගත් මාර්ක් ටේලර්, මාර්ක් වෝ, ස්ටීව් වෝ, මයිකල් බෙවන්, ඇඩම් ගිල්ක්‍රිස්ට්, මැතිව් හේඩ්න් නම් වූ ලෝක පූජිත පිතිකරුවන් සමගත් කණ්ඩායම් හැඟීමෙන් ක්‍රීඩා කළ රිකී ‍පොන්ටින් සිය දිවියේ සැඳෑ සමය එළැඹි කල අතීත ආවර්ජනයට සම වැදී ප්‍රීතිවන පුද්ගලයින් හමුවේ ඉහළින්ම සිටින්නෙක් වන බවට කිසිදු සැකයක් නැත.

No comments:

Post a Comment

Hey Guys....
Come and Join with me.........