Tuesday, January 1, 2013

අවසානයේ අජන්ත මෙන්ඩිස් විවාහ වූයේය

DJ Avantha Creations




වෙලදපොලේ විකිනීමට තිබෙන විවිධ භාන්ඩ අතරින් වඩාත්ම උචිත භාන්ඩය තමන්ට හමුවූ බව සිත්වුනු කල්හි,එම භාන්ඩයේ හුවමාරු වටිනාකමෙහි සීමාව කෙරෙහි සවිඥානික වෙමින්,මිනිසුන් එකිනෙකා සමග ආදරයෙන් වෙලෙති
- ‍එරික් ෆ්‍රොම්

හලෙකු සමග ආලයක පැටලීම පැරනි රෝම සමාජවල ප්‍රභූ ස්ත්‍රියක් අරභයා තහනම් කටයුත්තක්ව පැවතුනි.යම් හෙයකින් වහල් හිමියාගේ විරෝධතාවය මධ්‍යයේ තෙවරක් වහලෙකු සමග සංසර්ගයේ යෙදී යම් නිදහස් කාන්තාවක හසුවුවහොත් අදාල ස්ත්‍රිය වහා වහල්භාවයට පැමිනවීමේ බලය එම වහල් හිමියා සතු වූයේය.පුරාන රෝම සමාජය සතුන් සමග කෙරෙන සටන්වල සටන් ශිල්පීන්(Gladiators) ලෙස බොහෝ විට වහලුන් යෙදවීමට පුරුදුව සිටියේය.හැඩි දැඩි පුරුෂයන් වූ මෙම ග්ලැඩියේටර්වරු සුකුමාල වහල් හිමි පංතියේ රෝම
කාන්තාවන්ගේ ආකර්ශනය නිතැතින්ම හිමිකරගත්හ.කෙතරම් ආකර්ශනීය වුවද ඔවුහු වහලුන් වූ බැවින් එම ප්‍රභූ ස්ත්‍රීන් හා ඔවුන් අතර ගොඩනැගුනේ අනාචාරී සබදතාය.spartucus-Blood and sand නම් රූපවාහිනී වෘතාන්තය නරඹා තිබෙන අයෙකුහට ප්‍රභූ ස්ත්‍රීන් හා වහල් පුරුෂයන් අතර ඇතිවන මෙබදු අනාචාරී සබදතා නිතැතින්ම සිහියට නැංවෙනු ඇත.

ලිංගික ආදරය වනාහි ජීව විද්‍යාත්මක ප්‍රපංචයකි.පුරුෂයෙකු ස්ත්‍රියක් වෙත ආකර්ශනය වීමෙහි පදනම ජෛව විද්‍යාවේ විෂය පථයට අයත්ය.නමුත් එම ස්වභාවික වූ ජීව විද්‍යාත්මක ප්‍රපංචය සමාජ සම්බන්ධතාවයන්ගේ ප්‍රිස්මය තුලට පැමිනි කල්හි අනේක විධ රූපාකාරයන් අනුව හැඩගැසේ.ප්‍රභූ කාන්තාව හා වහල් පුරුෂයා යන කේවල පුද්ගලයන් (Individuals)ඉදිරියේ තිබෙන "ප්‍රභූ" හා "වහල්" යන විශේෂන පද ඉවත්කල විට ඒ වනාහි මූලික වශයෙන් ස්වභාවික ගැහැනියක හා පුරුෂයෙකි. ගැහැනියක සහ පුරුෂයෙකු අතර හටගන්නා ස්වභාවික වූද පිරිසිදු වූද ආකර්ශනය පංති වලට බෙදුනු පැරනි රෝම සමාජය තුල විකෘති හා  අනාචාරී සබදතාවයක් බවට පත්වූ ආකාරය ජීව විද්‍යාව තුල පිරිසිදු,පැහැදිලි විෂය වස්තුවක් වන ලිංගික ආදරය සමාජමය සන්දර්භයක් තුලට එන විට සංකීර්න හා වෙනස් හැඩයක් ගන්නා ආකාරයට නිදසුනක් වන්නේය.

2011 ජනවාරි 07 වනදා අජන්ත මෙන්ඩිස් නම් අදුරු සමැති ශ්‍රී ලාංකික තරුනයා යෝශිනි ද සිල්වා නම් විශාඛා විද්‍යාලයීය ආදි ශිෂ්‍යාව හා විවාපත් වූයේය.මොරටුවෙහි සාමාන්‍ය පවුලක උපත ලද අජන්ත මෙන්ඩිස් ඔහුගේ සමකාලීන පාසල් සගයන්ට වඩා බෙහෙවින් වාසනාවන්ත වූයේ සමාජ පිරමීඩයේ ඉහල තට්ටු වෙත ගමන් කිරීමේ දුලබ අවස්ථාව ලද හෙයිනි.ක්‍රිකට් පන්දුව අසාමාන්‍ය ශෛලියකින් මුදාහැරීමේ හැකියාව මෙන්ඩිස් වෙත වාසනාව කැදවූ කාන්දම වූයේය.තරග කිහිපයකදී කැපී පෙනෙන දස්කම් දැක්වීමත් සමග  මෙම තරුනයා එක් වරෙම සුපිරි තාරකාවක් බවට රූපාන්තරනය වූයේය.බහුජාතික සමාගම් වල වෙලද දැන්වීම් වල සිනහ වීමටත්,එවැනි සමාගම් වල සන්නාම ප්‍රවර්ධකයෙකු ලෙස ක්‍රියාකිරීමටත් හේ අවස්ථාව ලද්දේය.ක්‍රිකට් ක්‍රීඩාව සමග එකට තැබූ විට,මේවා වූ කලී ධනය උනන උල්පත් වෙති.

ආතර් සී ක්ලාක් විසින් රචිත 2001 නම් විද්‍යා ප්‍රබන්ධයේ මුල් කොටසේ පිටසක්වලින් පෘථිවියට සිලින්ඩරාකාර වස්තුවක් පැමිනීමක් පිලිබද පරිච්ඡේදයක් තිබේ.මෙම සිලින්ඩරාකාර පිටසක්වල වස්තුව ආදිකල්පික මිනිස් වානරයන් සමුහයක් පරීක්ෂනයකට භාජනය කරන අවස්ථාවක් පිලිබද විස්තරයක් එහිඑයි.එහිදී මිනිස් වානරයන් සමූහයක් අතුරින් හදයා නම් නිශ්චිත වානරයාව තෝරා ගන්නා සිලින්ඩරය හදයාට යම් යම් අභ්‍යාසයන් හා චලනයන් පුරුදු කරවයි.සෙසු වානරයෝ හදයා දෙස බලමින් හදයා අනුකරනය කිරීමට,එනම් හදයා ආදර්ශයට ගැනීමට වෙහෙස වෙති.
අජන්ත මෙන්ඩිස් යනු ධනේශ්වර සමාජය තුල තෝරාගැනීමේ දුර්ලභ වරප්‍රසාදය ලත් හදයෙකි.අපේක්ෂා විරහිතව නන්නත්තාර ජීවත ගත කරන දහස් ගනන් වෙරලබඩ වාසී තරුනයන්ට යහපත් ජීවිතයක් පිලිබද සහතිකයක් දීමට අසමත් සමාජ ක්‍රමය ඒ වෙනුවට එම දහස් ගනන අතුරින් එක් වරප්‍රසාද ලද්දෙකු තෝරාගෙන ඔහුව සුපිරි තරුවක තත්වයට ඔසවා තබයි.එවැනි විටෙක නන්නත්තාර ජීවිත ගත කරන සෙසු පීඩිතයන් කල්පනා කරන්නේ ක්‍රමය තුල තමන්ට අහිමිව තිබෙන ජීවිතය ගැන නොව අර තෝරාගනු ලැබූ වාසනාවන්තයා වෙත ක්‍රමය විසින් හිමිකරන ලද සුපිරි ජීවිතය ගැනය.ඉක්බිති ඔවුහු ස්වකීය පීඩනය (යථාර්තය) ගැන නොසිතා තෝරාගනු ලැබූ වාසනාවන්තයා "වගේ කෙනෙක් වීම" (සිහිනය) වෙනුවෙන් ජීවත් වීමට අසාර්ථක ලෙස උත්සාහ ගනිති.හදයා වගේ වීමට හදයා අනුකරනය කල ආදිකල්පික මිනිස් වානරයන් මෙන්,වාසනාවන්තයා "වගේ වීම" සදහා ඔවුහු සුපර් ස්ටාර් තරග වලට යති.රූ රැජින වීමට වලිකති.පරිභෝජනය කිරීම සදහා මේ ආකාරයට සුපිරි තරු පිලිබද සිහින නොනවත්වා නිෂ්පාදනය කර දීම මගින් ස්වකීය අකාර්යක්ෂමතාවය කෙරෙහි එල්ල විය හැකි විරෝධය ක්‍රමය විසින් ඉතා දක්ෂ ලෙස කලමනාකරනය කරගනු ලැබේ.

අජන්ත මෙන්ඩිස් යනු එසේ නිර්මානය කරන ලද තාරකාවකි.ධනයෙන් ආඩ්‍යව අතිශය සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන මෙම අදුරුවන් තරුනයා පවතින ධනේශ්වර යථාර්තය තුල උත්සාහය තිබේ නම් ඕනෑම කෙනෙකුට පොරක් විය හැකි යන මිථ්‍යාව සමාජගත කරන අයිකනයක් ලෙස භාවිත වෙමින් තිබේ.

කොලඹ විශාඛා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක වන යෝශිනී ද සිල්වා සුපිරි ගනයේ පොලිස් ප්‍රධානියෙකුගේ දියනියකි.යම් හෙයකින් අජන්ත මෙන්ඩිස් අජන්ත මෙන්ඩිස් නම් ධනවත් ක්‍රිකට් ක්‍රීඩකයා නොවී,ශාන්ත අන්තෝනි විද්‍යාලයේ සිය බොහෝ සමකාලීන සගයන් මෙන්,තවත් එක් වැල්ලේ කොල්ලෙකු පමනක් ලෙස කෙලවර වී නම් යෝශිනි ද සිල්වා ආදරය කරනු තබා අවම වශයෙන් අජන්ත මෙන්ඩිස් දෙස උනන්දුවෙන් බැලීමට තරම්වත් කරදර වනු ඇද්ද?අජන්ත මෙන්ඩිස්ගේ "සතුටුදායක" විවාහය අප ජීවත්වන සමාජය පිලිබද කනගාටුදායක හරස්කඩක් වන්නේ මේ අර්ථයෙනි.සැබෑව නම් මෙවැනි විවාහයකදී අධිනිශ්චයව තිබෙනුයේ අජන්ත මෙන්ඩිස් නම් පුද්ගලයා නොව අජන්ත මෙන්ඩිස් නම් ක්‍රිකට් ක්‍රීඩකයා වීමයි.වඩාත් ගැඹුරට ගියහොත් මෙවැනි සබදතාවයක තීරනාත්මක සාධකය වනුයේ ක්‍රිකට් ක්‍රීඩකයා නම් භූමිකාව සමග වෙලී තිබෙන සමාජ තත්වය,ධනය හා සංකේතීය බලයයි.මේ අනුව අපට ජේසුස් ක්‍රිස්තුස්ගේ කන්ද උඩ දේශනාව පහත පරිදි සංශෝධනය කල හැක.

වත්කමින් දිලිදු නොවන්නෝ භාග්‍යවන්තයෝය.මන්ද යත් ඔවුහු රූමත් ගැහැනුන් ලැබීමට සුදුස්සන් වන හෙයිනි.

සැබැවින්ම අප ජීවත්වන සමාජය තුල ලිංගික ආදරයේ හැඩය තීරනය කෙරෙනුයේ හුදෙක් ස්වභාවික ලිංගික ආකර්ශනය විසින් නොවේ.ධනේශ්වර යථාර්තයක් තුල සමාජයේ පාංතික ස්ථාවරත්වය,වත්කම හා ආර්ථික හැකියාව යන කරුනු විසින් ආදරය යනු කුමක්දැයි අර්ථනිරූපනය කරනු ලබන්නේය.ලිංගික ආලය නම් ස්වභාවික ප්‍රපංචය රෝම වහල් සමාජ තුල විකෘතියක් හා විභ්‍රමයක් බවට පත්වූයේ යම් සේද,එය නූතන ධනවාදී සමාජ වල ,වෙනත් ආකාරයකින් වුවද, නැවතත් විකෘතියක් ලෙස විරූපී ආකාරයකින් ප්‍රකාශයට පත්ව තිබේ.  ‍

No comments:

Post a Comment

Hey Guys....
Come and Join with me.........