Sunday, November 25, 2012

සෑම මිනිත්තු 40කට වරක් බ්‍රිතාන්‍ය තුළ Face Book හා බැඳුණු අපරාධයක්

DJ Avantha Creations

ෆේස් බුක් සාමාජිකයින් මිලියන 83ක් පෙනී සිටින්නේ වෙනත් නම්වලින්
 -හෙළිදරව්වට හේතුව-ෆේස් බුක් හරහා සිදුවන අපරාධ පිළිබඳ සෙසු ලෝකයෙන් චෝදනා එල්ල වීමයි.
 -මෙම ගණන නිවැරදි නොවන බවට තවත් පාර්ශ්වවලින් චෝදනාවක්
-මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ, ළමා අපචාර, හා පැහැර ගැනීම් ෆේස්  බුක් හා ඈඳුනු අපචාර අතර ප්‍රධානයි.
පසුගිය දිනක, ලොව සුප්‍රකට සමාජ ජාල වබේ අඩවිය වන “ෆේස් බුක්” වබේ අඩවිය හිමි “ෆේස් බුක් සමාගම” අපූරු හෙළිදරව්වක් කළේය. අන්‍යයන් පිළිබඳව නොව තමන් පිළිබඳවම සිදුකළ මේ අනාවරණයෙන් ඔවුන් පැවසූයේ මේ වන විට බිලියනයකට ආසන්න තම සාමාජිකයන් අතුරෙන් මිලියන
83ක්ම සැබවින් සිටින්නන් නොවන බවය. එනම් ෆේස් බුක් ගිණුම් අතුරෙන් මිලියන 83ක්ම සැබවින්ම පවත්වාගෙන යන්නේ සැබවින්ම එහි සඳහන් පුද්ගලයන් විසින් නොවන බවය. ඒවා විවිධාකාර නාඳුනන පුද්ගලයන් හෝ ආයතන විසින් විවිධ අරමුණු උදෙසා පවත්වාගෙන යන ගිණුම්ය. නැතහොත් විවිධ නරක අරමුණු උදෙසා භාවිතා වන ගිණුම්ය.
තරමක පුදුම සහගත වුවත් මේ කතාව කියන්නේ වෙන කිසිවෙක් නොව, ෆේස් බුක් සමාගමම නිසා එය ඇත්තක් බවට වාද විවාද ඇත්තේ නැත.
එසේ නමුදු වෙනත් ස්වාධීන සමීක්ෂණ ආයතන හා අන්තර්ජාල විශේෂඥයන් පවසන්නේ ෆේස් බුක් සමාගම ලෝකයාට පෙන්වන මේ ඉලක්කම “සැර බාල කර” සාදාගත් කතාවක් මිස සැබවින්ම පවතින ව්‍යාජ ගිණුම් සංඛ්‍යාව නොවන බවය.
මාක් සූකර්බර්ග් ෆේස් බුක් සමාගමට තමන් පිළිබඳවම තක්සේරුවක් ලෝකයාට ඉදිරිපත් කරන්නට සිදු වූයේ ෆේස් බුක් වබේ අඩවියේ ඇති ව්‍යාජ ගිණුම් හරහා සිදුවන සමාජ අපරාධ පිළිබඳව බොහොමයක් පාර්ශ්වවලින් දැඩි චෝදනා එල්ල වීමත් සමගය. එනම් ෆේස් බුක් සමාගම මෙවැනි හෙළිදරව්වක් කළේ “බැරිම තැන හන්දියට” පැමිණීමෙන් පසුවය.
එමෙන්ම මේ වසරේදීම බ්‍රිතාන්‍ය ආණ්ඩුවෙන්ද ෆේස් බුක් වබේ අඩවියට රතු එළියක් දැල්වුණි. ඒ එරට ආරක්ෂක අංශ මගින් නිකුත් කෙරුණු වාර්තාවක් නිසාය. ෆේස් බුක් සමාගම කලබල කළ එම වාර්තාවෙන් කියැවුණේ දළ වශයෙන් ගතවන සෑම මිනිත්තු 40කට වරක් ෆේස් බුක් හා ගෑවුණු අපරාධයක් බ්‍රිතාන්‍ය තුළ කොතැනක හෝ සිදුවන බවයි.
පසුගිය වසර තුළ එරට ආරක්ෂක අංශවලට කිනම් අයුරකින් හෝ ෆේස් බුක් සමග ඈඳුනු අපරාධ පිළිබඳව පැමිණිලි 12300ක් වාර්තා වී ඇති බවද අනාවරණය විය.
මේවා අතරින් බහුතරයක්ම වූයේ මිනීමැරුම් ස්ත්‍රී දූෂණ ළමා අපචාර හා පැහැර ගැනීම් ආදියයි. එමෙන්ම පුද්ගලයන් අපහසුතාවට පත් කිරීමේ අරමුණ ඇතිව නිරුවත් ඡායාරූප ඇතුළු කිරීම කුඩා දරුවන් හා මිතුරු වී ඔවුන් රවටා විවිධ අපචාර ක්‍රියා සඳහා යොදා ගැනීම වෙනත් අයකුගේ නමින් ෆේස් බුක් තුළ පෙනී සිටිමින් ඔවුන් අපහසුතාවයට පත් කිරීම ආදී කරුණුද එහි අඩංගු වී තිබුණි.
ඒ එංගලන්තයේ තත්ත්වයයි. සුද්දාගේ රටේ තරමටම නොවුණත්, අපේ රටෙන්ද ෆේස් බුක් නිසා සිදුවුණු අපරාධ ඕනෑ තරම් වාර්තා වී තිබේ.
වරක් කොළඹට ආසන්න ප්‍රදේශයක ගුරුවරියක් ෆේස් බුක් හරහා හඳුනාගත් තරුණයෙක් සමග හාදකමක් ඇති කර ගත්තේය. කෙසේ වුවද වැඩි යාළුකම නපුරට ගොස් අවසානයේ ඇයට නීතියේ පිහිට පතන්නට සිදුවිය.
ඒ, පෙර කී තරුණයා ඇයගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදා හරින බවට තර්ජනය කරන්නට පටන් ගැනීමත් සමගය.
ගාල්ල නගරයේ එක්තරා ජනප්‍රිය බාලිකා පාසලක සාමාන්‍ය පෙළ පන්තියක අධ්‍යාපනය ලබමින් සිටි සිසුවියකගේ නිවසේ ඇය පමණක් සිටි අවස්ථාවක මහා කලබගෑනියක් හටගෙන තිබුණි. විපරම් කර බැලූ අසල්වැසියන්ට දැකගන්නට ලැබුණේ මිදු‍ලේ ‍පොරබදමින් වහසි බස් දොඩමින් සිටින තරුණයින් තිදෙනෙකි.
අවසානයේ හෙළි වූයේ අපූරු කරුණකි. මෙම ළාබාල සිසුවිය ෆේස් බුක් හරහා හඳුනාගත් තරුණයන් ගණනාවක් සමගම විවිධාකාරයෙන් සබඳතා පවත්වාගෙන ගොස් තිබුණි. දෙමාපියන් නැති මොහොතක ඇය හමුවීමට අහම්බෙන් එකම මොහොතක පැමිණි තරුණයන් තිදෙනෙකු තරුණියට ඇති තම තමන්ගේ අයිතිවාසිකම් කියන්නට උත්සාහ කිරීම නිසා පෙර කී ගැටුම හටගෙන තිබුණි.
තවත් අවස්ථාවක ප්‍රසිද්ධ රාජ්‍ය බැංකුවක සේවය කළ තරුණියකට ඇගේ ජංගම දුරකථනයට පමණක් නොව නිවසේ සහ රාජකාරි ස්ථානයේ දුරකථනයට පවා ඉතාමත් පහත් මට්ටමේ ඉල්ලීම් රැගත් පණිවුඩ ලැබෙන්නට විය.
ඇයට මෙය මහත් පීඩාවක් වූ අතර අවසානයේ හෙළි වූයේ මෙසේ වීමට හේතුව ඇගේ නමින් අන්තර්ජාලයේ පැවැති ෆේස් බුක් ගිණුමක් බවය. මෙම තරුණිය සැබවින්ම ෆේස් බුක් වබේ අඩවියේ සිටියේ නැත. එනමුදු වෙනත් කිසිවෙකු ඇගේ නමින් ඇගේ ඡායාරූප කිහිපයක් යොදාගෙන ඉතා පහත් මට්ටමේ ෆේස් බුක් ගිණුමක් සාදා තිබුණි. කෙසේ හෝ මේ කරදරය විසඳාගත්තද, එම ෆේස් බුක් ගිණුම සකස් කළ පුද්ගලයා නම් අදටත් රහසකි. එම තරුණිය අනුමාන කරන්නේ රාජකාරිමය කටයුත්තකදී සිදු වූ අමනාපවීමක් නිසා එම අදාළ පුද්ගලයා මෙය සිදුකරන්නට ඇති බවය.
මේ අපට අහම්බෙන් මෙන් වාර්තා වූ සිදුවීම් කිහිපයක් පමණි. සත්‍ය තත්ත්වය මීට වඩා දරුණු නොවෙතැයි පැවැසීමට හැකියාවක් අපට ඇත්තේ නැත.
මීට අමතරව ෆේස් බුක් ඇතුළු සියලුම ආකාරයේ සමාජ ජාල වබේ අඩවි නිසා සිදුවන විශාලම හානිය වන්නේ අධික ලෙස බලශක්තිය සහ මිනිස් කාලය විනාශ වීමයි. සමාජ ජාල වබේ අඩවි ඉතා ආකර්ෂණීය මෙන්ම වින්දනීය වෙන්නාක් මෙන්ම භාවිතා කරන්නා නොදැනුවත්වම ඊට ඇබ්බැහි වීමට ඇති ඉඩකඩද වැඩිය. 31-2
මේ සම්බන්ධ ඉතා අපූරු අත්දැකීමක් මේ ලියුම්කරුට ලැබුණේ පසුගිය දිනක රාජ්‍ය බැංකුවකදීය.
බැංකුවේ සේවය කරන තරුණ නිලධාරිනියක් සම වයසේම සිටි නිලධාරී මහතෙකු වෙත පැමිණ “අනේ අයියේ ඉන්ටර්නෙට් යන්න බැහැනේ මට ජ්ඕ ලොග් වෙන්න ඕන. හදලා දෙන්නකෝ, යනුවෙන් පැවැසූ අතර ඉතා බැරෑරුම් ලෙස ගනුදෙනුකාර අප දෙසවත් නොබලා රාජකාරියේ යෙදී සිටී. ඒ නිලධාරී මහතා දනිපනි ගා නැගිට ගොස් පරිගණකය පමණක් නොව අන්තර්ජාල මොඩමයද ගලවා පරීක්ෂා කරන්නට විය. ඔවුන්ට ගනුදෙනුකරුවන්ගේ කාලයට වඩා ෆේස් බුක් වැදගත් වූයේ ඒ අයුරිනි.
මේ තත්ත්වය විශේෂයෙන්ම අන්තර්ජාලය ආශ්‍රිතව කටයුතු කරන ආයතනවලට හිසරදයක් වී ඇති නිසා මේ වන විට මෙරට බොහොමයක් ආයතන තම අන්තර්ජාල සබඳතා හරහා ෆේස් බුක් වබේ අඩවියට පිවිසීමට නොහැකි වන පරිදි උපක්‍රම යොදා තිබේ. තවත් සමහරක් ආයතනවල පරිගණක ජාලයෙන් ෆේස් බුක් වෙත පිවිසීමට හැකියාව ලැබෙන්නේ “කෑම පැය” තුළදී පමණි.
ෆේස් බුක් වබේ අඩවිය ආරම්භයේ පටන්ම ඊට සම්බන්ධ වීමේ හැකියාව පැවැතියේ වැඩිමහල් දරුවන්ට වුවද මේ වන විට වයස අවුරුදු 13 සීමාව ඉවත් කර ළාබාල දරුවන්ටද ඊට සම්බන්ධ වීමේ අවස්ථාව ලබාදී තිබේ.
මෙය ෆේස් බුක් සමාගම තනිකරවම තම වෙළෙඳ වාසිය පමණක් සලකා ගනු ලැබූ තීරණයකි.
සත්‍ය වශයෙන්ම කුඩා දරුවන් යනු පහසුවෙන් රැවටෙන සුළු පිරිසකි. ඉහත තීරණය හරහා ළාබාල දරුවන් ෆේස් බුක් වෙත බැඳීම යනු පහසුවෙන්ම ඔවුන්ගේ ජීවිත විනාශය කරා යොමු කරවන්නක් බවට වාද විවාද ඇත්තේ නැත.
ෆේස් බුක් යනු මේ වන විට ලොව පවත්නා බලවත්ම සමාජ ජාල වබේ අඩවියයි. ඇලෙක්සා ශ්‍රේණිගත කිරීම් අනුව ගූගල් වබේ අඩවියද පරදවා දිගින් දිගටම පෙරට පැමිණීමට ෆේස් බුක් සමත් වී තිබේ.
31-3මේ වන විට ෆේස් බුක් වබේ අඩවියේ සාමාජිකයින් සංඛ්‍යාව බිලියනයකටත් වඩා වැඩි අගයක් ගනී. ආරම්භයේ සිට මේ දක්වා යෙදුණු “ෆේස් බුක් ලයික්”  සංඛ්‍යාව ට්‍රිලියන 1.13කි. හුවමාරු වී ඇති ඡායාරූප මිලියන 220ක් පමණ වෙයි. ඊට අමතරව ඡායාරූප මිලියන 300ක් අලුතෙන් ෆේස් බුක් වෙත එකතුවෙයි. මේ යෝධ සංඛ්‍යාවලින් ෆේස් බුක් වෙත කෙතරම් පිරිසක් වහ වැටී ඇත්දැයි සිතා ගැනීම අපහසු නොවේ.
ෆේස් බුක් වබේ අඩවිය තුළ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාරගේ නමින් පවත්වාගෙන යන ගිණුම් 20ට අධිකව අපට හමුවිය. ජනප්‍රිය නිළි අනර්කලී ආකර්ශාගේ නමින්ද ෆේස් බුක් ගිණුම් 20ට අධිකව පවතී. උපේක්ෂා ස්වර්ණමාලි ගේ නමින් ගිණුම් 15කි. රන්ජන් රාමනායකගේ නමින්ද ගිණුම් 15ක් පමණ හමුවේ. යොවුන් ගායිකා නටාෂා පෙරේරාගේ නමින් පවත්වාගෙන යන ගිණුම් 10ක් පමණ හමු විය.
ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ පෞද්ගලික තොරතුරු සහ කොතැනකින් හෝ උපුටා ගන්නා ඡායාරූප යොදාගෙන පවත්වාගෙන යන මෙවැනි ෆේස් බුක් ගිණුම් නිසා, අදාළ පුද්ගලයන්ගේ ප්‍රතිරූපයට සිදුවන්නේ සුළු පටු හානියක් නොවේ. ඔවුන්ගේ නමින් පෙනී සිටින නාඳුනන පුද්ගලයන් කුමන විෂමාචාරයන් කරනවාදැයි කිසිවෙකුත් දන්නේ ද නැත.
කෙසේ වුවද ෆේස් බුක් යනු “යකෙක් හෝ රකුසෙක්” යැයි අප පවසන්නේ නැත. මිතුරු මිතුරියන් ඇසුරු කිරීමටත් නව සමාජ සම්බන්ධතා ඇතිකර ගැනීමටත් එය ඉතාම හොඳ තෝතැන්නකි. එසේ නමුත් අප එය භාවිත කිරීමේදී ප්‍රවේශම් විය යුතුය. මක් නිසාද යත් “දැන ගියොත් කතරගම මෙන්ම නොදැන ගියොත් අතරමග” වනනිසාය.

No comments:

Post a Comment

Hey Guys....
Come and Join with me.........